වී අලෙවි මණ්ඩලය විසින් ගොවියන්ගෙන් මෙතෙක් මිල දී ගන්නා ලද වී ප්‍රමාණය එක් ගොවියෙකුගෙන් 3000 Kg කි. එම ප්‍රමාණය 5000 Kg දක්වා ඉහල නැංවීමට කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල සංදේශයට අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබාදුන් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
ගොවීන්ගෙන් මිලදී ගන්නා නාඩු වී කිලෝවක් රු.38 ක් සහ සම්බා වී කිලෝවක් රු.41ක සහතික මිලකටත් වී අලෙවි මණ්ඩලය විසින් මිලදී ගනු ලබයි. 2018 යල කන්නයේ දී වී අස්වනු මිලදී ගැනීම සම්බන්දව කෘෂිකර්ම අමාත්‍යාංශය විධිමත් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළ අතර ගොවීන්ට පහසුවෙන් වී අස්වනු විකුණා ගැනීම සඳහා අවශ්‍ය පොලිසැක් කවර පවා වී අලෙවි මණ්ඩලය විසින් ගොවින්ට නොමිලේ ලබා දී තිබූ අතර පෝලිම්වලින් තොරව වී මිලදී ගැනීමේ පහසුකම් සියලුම ගබඩාවල ස්ථාපිත කරනු ලැබීය.
වී ගොවීන්ට තම අස්වනු සඳහා ඉහළ මිලක් ලබා දීම රජයේ අරමුණ වන අතර වී අස්වනු නෙලන සමයේ සහල් තොග මෙරටට ගෙන ඒම වැලක්වීම සඳහා ආනයනික සහල් කිලෝවකට පනවා තිබූ සතවිසි පහක විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද රු.70 දක්වා ඉහළ නංවනු ලැබීය. මේ හේතුවෙන් මෙවර යල කන්නයේ වී ගොවීන්ට තම අස්වනු අන් කවරදාකටත් වඩා ඉහළ මිලකට අලෙවි කර ගැනීමට හැකි විය. වී අලෙවි මණ්ඩලය විසින් මිලදී ගන්නා මිලට වඩා රු.10ක් පමණ වැඩි මිලකට පුද්ගලික අංශයේ වෙළෙඳුන් විසින් මිලදී ගන්නා බව වාර්තා වේ.
වී ගොවීන්ට ඉහළ ආදායමක් ලබා ගැනීමට හැකිවීම සම්බන්ධයෙන් තමන් අතිශයෙන් සතුටට පත්වන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. එමෙන්ම 2018 මාස් කන්නයේදී ද වී අස්වනු මිලදී ගැනීම සඳහා කල්තියා වැඩපිළිවෙලක් සකස් කරන ලෙස අමාත්‍යවරයා විසින් එම මණ්ඩලයේ සභාපති නිතීඥ උපාලි මොහොට්ටි මහතාට පැවසීය.