දැනට පවතින වියලි කාලගුණික තත්ත්වය නිසා 2023.08.29 දිනට වාර්තා වී ඇති වී සහ අනෙකුත් බෝග පිළිබඳ වගා හානි වාර්තාව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය විසින් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාට භාරදී ඇත.
මේ අනුව 29 දිනය වනවිට හානි වී ඇති සමස්ථ කුඹුරු ප්‍රමාණය අක්කර 58,766.97ක් වේ.
ඉන් වී වගා කළ ප්‍රමාණය 58,389.82ක් වන අතර, වෙනත් බෝග අක්කර 377.15කි.
හානියට පත්ව ඇති ගොවීන් සංඛ්‍යාව 53,965 දක්වා ඉහළ ගොස් ඇත. මේ වනතෙක් වැඩිම වගා හානි ප්‍රමාණය කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් වාර්තා වේ.ඒ අනුව අක්කර 26,195.11 කි. හානියට පත්ව ඇති ගොවීන් සංඛ්‍යාව 31,427කි.
දෙවන ස්ථානයට වැඩිම වගා හානිය තවදුරටත් උඩවලව ප්‍රදේශයෙන් වාර්තා වන අතර, එය අක්කර 16,667.50කි. හානියට පත්ව සිටින ගොවීන් සංඛ්‍යාව 5,867කි. එමෙන්ම මාතලේ දිස්ත්‍රික්කයේ හානියට පත් කුඹුරු අක්කර ප්‍රමාණය 1,496.35 ක් වන අතර, වගා හානියට ලක් වූ ගොවීන් ප්‍රමාණය 2,255කි. පුත්තලම දිස්ත්‍රික්කයේ හානියට පත් කුඹුරු අක්කර ප්‍රමාණය 1,765.56ක් වන අතර, වගා හානියට පත් ගොවීන් සංඛ්‍යාව 1,185කි. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ගොවීන් 470ක් වගා හානියට පත්ව ඇති අතර, හානියට පත් කුඹුරු අක්කර ප්‍රමාණය 1,149.75 කි. රත්නපුර දිස්ත්‍රික්කයේ ගොවීන් 1,971ක් වගා හානියට පත්ව ඇති අතර, හානියට පත් කුඹුරු අක්කර ප්‍රමාණය 1293.50කි.
මේ අතර ඉදිරි මහ කන්නයේ දී පවතින කාලගුණික තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් වගා කටයුතු කරන ආකාරය පිළිබඳ සාකච්ඡාව හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනයේ දී පැවැත්විණි. කෘෂිකර්ම අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවේදී අමාත්‍යවරයා සඳහන් කළේ මහ කන්නය ආරම්භ වීමට ප්‍රථම වගා හානි සිදු වූ ගොවීන්ට වන්දි ලබාදීම සඳහා පියවර ගන්නා බවයි. විශේෂයෙන් වන්දි ලබා දීම කඩිනම් කිරීමට කටයුතු කරන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.