කාබනික පොහොර ලෙස වැව්වල පස් හා අපද්‍රව්‍ය ගොවිජනතාවට සැපයීමට මෙවර මහ කන්නයේ දී කිසිවෙකුට ඉඩක් නැතැයි කෘෂිකර්ම අමාත්‍යවරයා සඳහන් කරයි.

2022/23 මහ කන්නයේ දී සියයට 70ක් රසායනික පොහොරත්, සියයට 30ක් කාබනික පොහොර වී වගාව සඳහා යෙදවීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව නිර්දේශ කර තිබෙනවා. ඒ යටතේ හොඳම කාබනික පොහොර ගොවීන්ට ලබා දීමට පියවර ගන්නවා. පසුගිය කාලයේ වගේ වැව්වලින් කපා ගත්ත පස් හා අපද්‍රව්‍ය කාබනික පොහොර ලෙස ගොවිජනතාවට අලෙවි කරන්නට මෙම මහ කන්නයේ දී ඉඩ ලැබෙන්නේ නැතැයි කෘෂිකර්ම වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

 අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ඊයේ ( 06) කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී පැවැති සාකච්ඡාවකට සහභාගි වෙමිනි.

ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම සුහුරු කෘෂිකර්මාන්තය උදෙසා ඩිජිටල් මාර්ග සිතියමක් සකස් කිරීම සම්බන්ධව මෙම සාකච්ඡාව පැවැත්විනි. එම අවස්ථාවට ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ සභාපති රොහාන් ප්‍රනාන්දු මහතා ඇතුළු පිරිසක් සහභාගි වූහ.

එහිදී වී වගාව සඳහා කාබනික පොහොර ප්‍රතිපත්තිය සම්බන්ධව අමාත්‍යවරයා කරුණු පැහැදිළි කිරීමක් කළේය.

අපි රජය වශයෙන් ඉදිරි මහ කන්නයේ දී වී වගාවට කාබනික පොහොර යොදන ගොවීන් සඳහා රුපියල් 20,000ක සහනාධාරයක් ලබා දීමට සැලසුම් කර තිබෙනවා. එම මුදල වවුචර් ක්‍රමයට ලබා දෙනවා. පසුගිය කාලයේ මෙන් මෙවර කාබනික පොහොර ලෙස වැව්වලින් හාරන ලද පස් හා විවිධ අපද්‍රව්‍ය ගොවිජනතාවට අලෙවි කිරීමට ඉඩක් ලැබෙන්නේ නැහැ.

කාබනික පොහොර සැපයීමට රජය මැදිහත් නූනත් අපි කාබනික පොහොර නියාමණය කරනවා. හොඳ මට්ටමේ පොහොර ගොවිජන සේවා මධ්‍යස්ථාන මගින් ගොවීන්ට තෝරාගත හැකියි. අහවල් පොහොර ලබා ගන්න කියා අපි කිසිදු බලකිරීමක් කරන්නේ නැහැ. කාබනික පොහොර නිෂ්පාදනකරුවන්ට පුළුවන් තමන් හොඳම දේ නිෂ්පාදනය කර අලෙවි කරන්නට. ඒවා අලෙවිය සඳහා ගොවිජන සේවා මධ්‍යස්ථානවල පහසුකම් සලසනවා.

මම කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට උපදෙස් දුන්නා කාබනික පොහොර ප්‍රමිතිය පිළිබඳව සැළකිළිමත්වන ලෙස. අපි ගොවීන්ට බලාත්කාරයෙන් කාබනික පොහොර දෙන්නේ නැහැ. ඒ අයගේ කැමැත්ත මත මිල දී ගන්න පුළුවන්. තවමත් කාබනික පොහොර ප්‍රමිතිය මැණීමට ක්‍රමවේදයක් අපේ රට තුළ නැහැ. ඒ නිසා මම ප්‍රමිති කාර්යාංශයට කාබනික පොහොර පිළිබඳ ප්‍රමිතියක් වහාම සකස් කරන ලෙස මම උපදෙස් දුන්නා.

වී ගොවීන්ට ලබාදෙන කාබනික පොහොර සහනාධාරය වෙනුවෙන් රුපියල් බිලියන 16ක් වෙන් කරනවා. එම මුදල් වැය වෙන්නේ ගොවි ජනතාව කාබනික පොහොර මිල දී ගත්තොත් විතරයි. ඒ නිසා කාටවත් මේ මුදල් ගසා කන්න හෝ අපතේ යාමට ඉඩක් නැහැ.

යම් කාබනික පොහොර නිෂ්පාදනයක් සම්බන්ධයෙන් ගොවීන්ගෙන් චෝදනා එල්ලවුවහොත් අපි එම සමාගම අසාදු ලේඛන ගත කරනවා. මම පැහැදිළිවම කියන්නේ පසුගිය කාලයේ මෙන් කාබනික පොහොර යැයි කියමින් ගොවි ජනතාවට විවිධ අපද්‍රව්‍ය සැපයීමට මෙවර එම සමාගම්වලට ඉඩක් ලැබෙන්නේ නැහැ.

අනිත් කාරණය යුරියා පොහොර අපි ලබා දෙන්නේ කිලෝග්‍රෑම් 50ක මිටියක් රුපියල් 10,000කට. ඒ නිසා යුරියා පොහොර භාවිතා කරන ගොවීන්ට වෙනමම සහනාධාරයක් ලබා දෙන්නේ නැතැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.

සුහුරු කෘෂිකර්මාන්ත ක්ෂේත්‍රයක් සඳහා ඩිජිටල් මාර්ග සිතියමක් සකස් කිරීම සඳහා මෙම සාකච්ඡාව පැවැති අතර නව කාසිකාර්මික ක්‍රම, තොරතුරු තාක්ෂණය යොදා ගැනීම ආදි කරුණු රැසක් සම්බන්ධව මෙහිදී සාකච්ඡා කළ අතර මෙම ව්‍යාපෘතිය පිළිබඳව වැඩ පිළිවෙළක් සකස් කර ඉදිරිපත් කරන ලෙස අමාත්‍යවරයා උපදෙස් දුන්නේය.

සමාජීය

කෘෂිකර්ම අමාත්‍යාංශය
 

80/5,

ගොවිජන මන්දිරය,

රජමල්වත්ත පටුමග,

බත්තරමුල්ල, ශ්‍රී ලංකාව.

දුරකථන : +94-11-2034300

 

ඊ- මේල් : service@agrimin.gov.lk

ප්‍රකාශන හිමිකම © 2019  කෘෂිකර්ම අමාත්‍යාංශය

සියලු හිමිකම් ඇවිරිණි

සැලසුම් නිර්මාණය