web Header2

   



යුරියා පොහොර ටෙන්ඩරය ගැන උනන්දුවක් දක්වන කවර පාර්ශ්වයක් සමග වුවත් සාකච්ඡා කරන්න කෘෂිකර්ම අමාත්‍යවරයා හෙට (11) පෙරවරු 12.00ට සූදානමින්...

2022/23 මහ කන්නයේ දී වී වගාව සඳහා ලෝක බැංකු ණය යටතේ මිල දී ගැනීමට යෝජිත යුරියා පොහොර ටෙන්ඩරය සම්බන්ධව ඇතැම් පාර්ශ්ව විසින් දක්වන අදහස් පදනමකින් තොර බව කෘෂිකර්ම අමාත්‍යාංශයට පෙනී ගොස් ඇත.

එමනිසා මෙම පොහොර ටෙන්ඩරය සම්බන්ධව අදහස් පළ කරන හා ඒ සම්බන්ධව උනන්දුවක් දක්වන ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරු මෙන්ම එම පක්ෂයේ වෘත්තිය සමිති නියෝජිතයින් සමග මෙන්ම වෙනත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සමග සාකච්ඡාවක් පැවැත්වීමට කෘෂිකර්ම වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා තීරණය කර තිබේ.

මෙම සාකච්ඡාව හෙට දින එනම් 2022. 10. 11 දින පෙරවරු 12.00ට බත්තරමුල්ල කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර ඉහත සඳහන් කළ කණ්ඩායම්වලට මේ සඳහා සහභාගි වන ලෙස අමාත්‍යවරයා කාරුණිකව ඉල්ලීමක් කරයි.

මෙම සාකච්ඡාව කිසිසේත්ම වාද විවාද කිරීම ඉළක්ක කරමින් පවත්වන සාකච්ඡාවක් නොවේ. යුරියා පොහොර මිල දී ගැනීමේ වැඩ පිළිවෙළේ යම් යම් අඩුපාඩු ඇත්නම් ඒවා හඳුනාගැනීමටත්, රටේ කෘෂිකර්මාන්තයේ උන්නතිය හා ගොවි ජනතාව වෙනුවෙන් සිදු කරන ජාතික මෙහෙවරක් ලෙස සළකා මෙම වැඩ පිළිවෙළට අදාලව අදහස් හා යෝජනා ඉදිරිපත් කරන ලෙසත් අමාත්‍යවරයා ඉල්ලා සිටී.

ඉදිරි මහ කන්නය සාර්ථක කර ගැනීම අප හැමගේ වගකීමකි. එළඹෙන මහ කන්නය සාර්ථක වුවහොත් දැනට අප මුහුණ පා සිටින ආහාර අර්බුදය හා මන්දපෝෂණ තත්ත්වය තවතවත් දරුණු ලෙස ඉහළ යා හැකිය. එමනිසා මෙම බැරෑරුම් අවස්ථාවේ මෙරට කෘෂිකාර්මික අංශය නංවාලීම අප හැමගේ වගකීමක් බවත්, ඒ සඳහා රටේ සියලු දෙනාගේ සහයෝගය අත්‍යවශ්‍ය වේ.

එමනිසා මෙම සාකච්ඡාවට සහභාගි වී යුරියා පොහොර මිල දී ගැනීම මෙන්ම වෙනත් කෘෂිකාර්මික ගැටළු සම්බන්ධව තමන්ගේ අදහස් හා යෝජනා ඉදිරිපත් කරන ලෙස අදාල සියලුම පාර්ශ්වවලින් අමාත්‍යවරයා ඉල්ලා සිටී.

සමාජීය

Facebook
                        

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශය

 

80/5,

ගොවිජන මන්දිරය,

රජමල්වත්ත පටුමග,

බත්තරමුල්ල, ශ්‍රී ලංකාව.

දුරකථන : +94-11-2034300

 

ඊ- මේල් : info@agrimin.gov.lk

ප්‍රකාශන හිමිකම © 2019  කෘෂිකර්ම අමාත්‍යාංශය

සියලු හිමිකම් ඇවිරිණි

සැලසුම් නිර්මාණය