හම්බන්තොට රිදියගම සෆාරි උද්‍යානයේ දෙවෙනි කොටසට අයත් කුඩා සත්ව කලාපය, සත්ව සංරක්ෂණ සහ අනතුරුවලට ලක් වන පර්යටන පක්ෂීන් ගළවා ගැනීමේ මධ්‍යස්ථානය හෙට දින එනම් - 2022.10.04 දින පෙරවරු 10,00ට විවෘත කිරීමට කටයුතු යොදා තිබේ.
කෘෂිකර්ම, වනජීවි හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම දෙවෙනි කළාපය විවෘත වන අතර එම අවස්ථාවට අමාත්‍යාංශයේ ලේකම් චන්ද්‍රා හේරත් මහත්මිය හා වනජීවි අධ්යක්ෂ ජනරාල් චන්දන සූරියබණ්ඩාර හා ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් ඇතුළු පිරිසක් සහභාගි වීමට නියමිතය.
රිදියගම සෆාරි උද්‍යානය සඳහා අක්කර 500 ක පමණ බිම් පෙදෙසක් වෙන් කොට ඇති අතර විවිධ සතුන් වර්ග සඳහා කලාප 13 ක් පිහිටුවා තිබේ. දැනට ඉන් අක්කර 200 ක පමණ ප්‍රමාණයක් සංවර්ධනය කොට ඒ තුල පරිපාලන ගොඩනැගිලි, සත්ව රෝහල, නරඹන්නන්ට පහසුකම් සලසන ස්ථාන, අලෙවිහල් වාහන නැවතුම් ස්ථාන ආදිය හා සත්ව කලාප කිහිපයක වැඩ නිමකර ඇත.
මේ සත්ව කලාප වන්නේ අක්කර 35 ක පමණ භූමි ප්‍රදේශයක පවතින අප්‍රිකානු සිංහ කලාපය, අක්කර 80 ක පමණ පැතිරී ඇති ශාඛ භක්ෂක සතුන් කලාපය හා අක්කර අක්කර 54 කින් යුතු ආසියානු අලින්ගේ කලාපය හා බෙංගාලි ව්‍යාග්‍රයන්ගේ කළාපයයි.
හෙට දින(04) විවෘත කිරීමට යෝජිත කළාපය තුළ කළාප තුනකින් සමන්විතය. එහි කුඩා ශාක භක්ෂක සතුන් ( ගෝනමුවා, ඕළුමුවා, මීමින්නා, වැනි මුව වර්ග) සඳහා වන කළාපයක් හා සුරතල් සතුන් සමග විනෝදවීමට ළමුන් සඳහා ඉදි කළ කළාපයක් ද මෙම නව කොටසෙහි ඉදි කර තිබේ.
ඊට අමරව සත්ව අභිජනන සංරක්ෂණ මධ්‍යස්ථානයක් ද ඉදි කර ඇති අතර එම කොටස නරඹන්නන් සදහා විවෘත නොකෙරේ.
විශේෂයෙන් පර්යටන පක්ෂින් ගළවා ගැනීමේ මධ්‍යස්ථානයක් ද මෙහි විවෘත කිරීමට කටයුතු යොදා ඇත.
සුරතල් සතුන්ට ආහාර ලබා දීම, හා එම සතුන් සමග ඡායාරූප ගැනීම වැනි අවස්ථාවන්ට ද මෙහි ප්‍රමුඛත්වය ලබා දී ඇතැයි ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව පවසයි.