
කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය යටතේ පවතින කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ප්‍රගතිය පිළිබඳ සමාලෝචන රැස්වීම ඊයේ (30) දින කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් ඉඩම් අමාත්‍යාංශයේදී පැවැත්විණ.
මෙහිදී 2025 වසරට අදාළව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් දිවයින පුරා දියත් කළ වැඩසටහන්වල ප්‍රගතිය සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කරන ලදී. විශේෂයෙන් ‘පුනරුදයට අරුණලු Agri+’ ජාතික ආහාර බෝග නිෂ්පාදන වැඩසටහන ක්‍රියාත්මක කිරීම පිළිබඳව විමසා බැලීමක් සිදු කරන ලදී. මෙම වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේදී ඇති වූ ගැටළු පිළිබඳව නිලධාරීන් විසින් අමාත්‍යවරයාව දැනුම්වත් කරන ලදී.
මෙහිදී විශේෂයෙන් බෝග නායකයින්ගේ (Crop Leaders) අදහස් ද ඔවුන්ට ඇති ගැටළු ද සාකච්ඡා විය. අවශ්‍ය වන්නේ කළ කී දෑ වෙනුවට ගැටළු ගැන සාකච්ඡා කොට අදාළ අරමුණුවලට යාමට නොහැකි වූ හේතු වෙනුවෙන් පිළිතුරු සෙවීම බව අමාත්‍යවරයා අවධාරණය කළේය. ගොවිජනතාව බලාපොරොත්තු වන්නේ මෙතෙක් තිබූ ක්‍රමය නොව තාක්ෂණය සහ සේවාවන්වල කාර්යක්ෂමභාවය බවත්, ඒවා වැඩිකර ගැනීමට නිලධාරීන් කටයුතු කළ යුතු බවත් අමාත්‍යවරයා පැවසීය. විශේෂයෙන් අල, ලූණු පිළිබඳව මෙම වසරේදී සිදු වූ අඩුපාඩු වළක්වාලමින් ඉදිරි වසරේදී එසේ නොවීමට වගබලා යුතු බවත් අමාත්‍යවරයා විසින් නිලධාරීන්ව දැනුම්වත් කරන ලදී.
මෙම අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා වැඩිදුරටත් මෙම අදහස් පළ කළේය.
“අතිරේක බෝග සම්බන්ධයෙන් තමයි අපිට අර්බුදයක් තියෙන්නේ. වී වගාව සම්බන්ධයෙන් නම් අවධානයක් තියෙනවා. ඒ වගේම වැඩසටහන් තියෙනවා. වි මිලදී ගැනීමටත් ක්‍රමවේදයක් ක්‍රියාත්මක වෙනවා. නමුත් දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවලදීවත් අතිරේක බෝග ගැන සාකච්ඡා වෙන්නේ නැහැ. අපි අමාත්‍යාංශය විදිහට අතිරේක බෝග සම්බන්ධයෙන් විශේෂ මැදිහත්වීමක් කරමු.”
මෙම අවස්ථාවට කෘෂිකර්ම සහ පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා, ඉඩම් සහ වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය අරවින්ද සෙනරත් විතාරණ මහතා, කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය තුෂාර වික්‍රමාරච්චි මහතා ඇතුළු නිලධාරීන් සහභාගී විය.