
ශ්‍රී ලංකා කෘෂිකාර්මික පර්යේෂණ ප්‍රතිපත්ති සභාව විසින් කෘෂිකර්ම පර්යේෂණ ක්ෂේත්‍රයේ ප්‍රගමනය සහ උන්නතිය උදෙසා විශේෂ කාර්යභාරයක් සිදු කරන ලද පර්යේෂකයන් ඇගයීම සහ දිරිමත් කිරීම වෙනුවෙන් සංවිධානය කරනු ලබන කෘෂිකර්ම ක්ෂේත්‍රයේ විශිෂ්ටයන් ඇගයීමේ උත්සවය ඊයේ (23) දින අතිගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ ලෝටස් ශ්‍රවනාගාරයේදී පැවැත්විණ.
මෙම උත්සවයට කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා ද සහභාගී විය.
එහිදී අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.
“ 2023 වසරට අදාළ සංඛ්‍යා හා දත්ත අනුව කෘෂිකාර්මික අංශය මඟින් දළ ජාතික නිෂ්පාදනය සඳහා දක්වන ලද දායකත්වය 7%ක් 8%ක් පමණ වන අතර, 2024 වසරට අදාළව කෘෂි නිෂ්පාදන අපනයනය මුළු අපනයනයෙන් 21.7ක්ව පැවතුණි. තවද ශ්‍රම බලකායෙන් 26.4%ක් කෘෂිකාර්මික ක්ෂේත්‍රයට අදාළ රැකියාවන්හි නිරතව සිටියි. මෙවන් පසුබිමක දේශගුණික විපර්යාස මඟින් සිදුව ඇති බලපෑම, බීජ, කෘෂි රසායන ඇතුළු කෘෂි යෙදවුම්වල අධික මිල කෘෂිකාර්මික ශ්‍රමය හිඟකම සහ එමඟින් කෘෂි නිෂ්පාදනවල පිරිවැය ඉහළ යාම , අත්‍යවශ්‍ය ආහාර සඳහා ආනයනය මත යැපීමට සිදුවීම, ඒ සඳහා පාරිභොගිකයන් හට විශාල පිරිවැයක් දැරීමට සිදුවීම කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ අප මුහුණපාන ප්‍රධානම ගැටළුවලින් කිහිපයකි. මෙවැනි තත්ත්වයක් තුළ කෘෂිකාර්මික අංශය නවීකරණය කිරීමේ උපායමාර්ග හඳුනා ගැනීම, තරුණ කෘෂි ව්‍යවසායකයින් බිහි කිරීම, කෘෂිකාර්මික නිෂ්පාදනවලට අගය එකතු කිරීම, අපනයන පදනම් කරගත් කෘෂිකාර්මික නිෂ්පාදන දියුණු කිරීම සඳහා විද්‍යාත්මක පර්යේෂණ මඟින් දායකත්වය සැපයීම කෘෂි පර්යේෂකයින් හට පැවරී ඇති භාරදූර වගකීමකි. තවද මෙම පර්යේෂණ සොයාගැනීම් ප්‍රතිපත්ති සම්පාදකයින්ට සහ අදාළ සියලුම පාර්ශවකරුවන්ට ප්‍රමාණවත් පරිදි සන්නිවේදනය කිරීම මඟින් එම සොයා ගැනීම් මහපොළවේ යථාර්ථයක් බවට පත් කිරීමට කටයුතු කරන මෙන් ඔබ සැමගෙන් ඉතා ඕනෑකමකින් ඉල්ලා සිටිමි.
ශ්‍රී ලංකා කෘෂිකාර්මික පර්යේෂණ ප්‍රතිපත්ති සභාව මෙරට කෘෂිකාර්මික පර්යේෂණ සම්බන්ධයෙන් දැවැන්ත කාර්යභාරය සම්බන්ධයෙන් මගේ කෘතඥතාවය පළ කිරීම සඳහා මෙය අවස්ථාවක් කර ගනිමි. කෘෂිකාර්මික පර්යේෂකයින් දිරිමත් කිරීම සඳහා වසර දෙකට වරක් පැවැත්වෙන මෙම කෘෂිකාර්මික පර්යේෂකයින්ගේ විශිෂ්ටයන් ඇගයීම සඳහා පවත්වනු ලබන මෙම ජාතික උළෙලට ශ්‍රී ලංකා කෘෂිකාර්මික පර්යේෂණ ප්‍රතිපත්ති සභාව විසින් කරන තවත් එක් කර්තව්‍යයකි. අද දින මෙම සම්මාන ප්‍රදාන උළෙලේදී 2023 සහ 2025 වර්ෂවලට අදාළ කෘෂි පර්යේෂණ විශිෂ්ටතා සම්මාන ප්‍රදානය සිදු කරනු ලබයි.
වර්තමානයේ කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ සියලුම පාර්ශවකරුවන්ට වඩාත් යහපත් එනම් රටේ පුරවැසියන්ගේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කෙරෙන, ආනයනය මත අඩු යැපීමක් සහිත ගොවි ප්‍රජාවගේ ජීවන තත්ත්වයන් ඉහළ නැංවෙන හා පරිසර හිතකාමී කෘෂිකාර්මික සංවර්ධනයක් ඇති කිරීම අපගේ ඒකායන අභිප්‍රාය වේ. එම යහපත් අරමුණු මුදුන්පත් කර ගැනීමට අප නිරන්තරයෙන්ම කැපවී සිටිමු. මෙම සම්මාන උළෙල මඟින් අපගේ කෘෂිකාර්මික ක්ෂේත්‍රය තවදුරටත් ඉහළ තත්ත්වයකට ඔසවා තැබීමට දායක වන්නා වූ කෘෂිකාර්මික පර්යේෂණ සිදු කිරීමටත්, එමඟින් අප රජයේ ජාතික දැක්ම වන ‘පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්’ යන්න යථාර්ථයක් බවට පත්කර ගැනීමටත් අගනා දිරි ගැන්වීමක් වනු ඇතැයි මම හුදෙක්ම බලාපොරොත්තු වෙමි.
පර්යේෂකයන් නිසාම අපට තියෙන ප්‍රශ්න ටිකට පිළිතුරු සොයා දෙන්න. එකක් තමයි මේ වනසතුන්ගෙන් වන හානියට එය වළක්වා ගැනීම සඳහා අපට යමක් කරලා දෙන්න. පර්යේෂණ පැත්තට ඒ සඳහා ලොකු කාර්යභාරයක් තියෙනවා. අපේ ආයතන සියල්ලම කැපවෙලා අවසානයේදී අපට 30%ක් 35%ක් වනසතුන් නිසා හානි වෙනවා කියන එකට උත්තර හොයන්නේ නැතුව යන්න බැහැ. මේක පර්යේෂකයන්ගේ වගකීමක්. අපට විවිධ යෝජනා තියෙනවා. ශබ්ද තරංග, වන්ද්‍යාකරණ ක්‍රියාවලිය නමුත් අපේ ගොවිජනතාව ගත්තොත් බරපතල විදිහට මේ ප්‍රශ්නෙට මුහුණ දීලා ඉන්නවා. ප්‍රශ්නෙත් ගොඩක් සංකීර්ණයි. අපට තාමත් වනජීවී කලමනාකරණය කියලා මාතෘකාවක් නැහැ. ඒකට ආයතනයකුත් නැහැ.
ඊළඟට ප්‍රවාහනයේදී සිදුවන හානියට තාමත් ප්‍රායෝගිකව මහපොළවේ ක්‍රියාත්මක කළ හැකි යහපත් උත්තරයක් තවමත් නැහැ. ඒ ප්‍රශ්නයටත් විසඳුමක් අවශ්‍යයි. ඒ වගේම ආහාර ගැනීමේදී අපි දන්නේ නැහැ කන්න බොන්න ඕන ප්‍රමාණය ගැන. අපි බෝගයකට දෙන්න ඕනේ නිසි ප්‍රමාණය සහ නිසි වෙලාව දන්නවා. තමන්ගේ ශරීරයට දාගන්න ඕනේ මොනවද කියලා දන්නේ නැහැ. ඒක දැන ගන්න මොකක් හරි ක්‍රමවේදයක් හදලා දෙන්න පුළුවන් නම්. ඒක අපි හැමෝටම සෑහෙන්න උදව්වක් වෙයි. අපේ ආහාර සංස්කෘතිය සම්බන්ධයෙන් බරපතල ප්‍රශ්නයක් තියෙනවා.”
