
කෘෂිකර්ම විද්‍යාලවල NVQ 5 සහ 6 මට්ටම සම්පූර්ණ කළ උසස් ඩිප්ලෝමාධාරීන් සහ ඩිප්ලෝමාධාරීන් 490ක් සඳහා ඩිප්ලෝමා ප්‍රදානය කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් අද (16) දින පොල්ගොල්ල මහින්ද රාජපක්ෂ ශ්‍රවනාගාරයේදී පැවැත්විණ.
මෙම අවස්ථාවට එක්වෙමින් කුණ්ඩසාලේ කෘෂිකර්ම විද්‍යාලයේ විදුහල්පතිවරයා සඳහන් කළේ,
කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සතුව කෘෂිකර්ම විද්‍යාල පද්ධතියක් පවතින බවත්, කෘෂිකර්මය සම්බන්ධයෙන් ප්‍රායෝගික හැදෑරීමක් ලබා දෙන මෙවන් ආයතන වෙනත් රටවල නොමැති බවයි.
කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය තුෂාර වික්‍රමාරච්චි මහතා ප්‍රකාශ කළේ,
දැනුමෙන් නිපුණතාවයෙන් සහ ප්‍රායෝගිකත්වයෙන් යුත් පිරිසක් කෘෂි ක්ෂේත්‍රයට බිහි කිරීමට මෙම ඩිප්ලෝමාධාරීන් හරහා අවස්ථාව හිමි වූ බවයි.
කෘෂිකර්ම ක්ෂේත්‍රයේ ඉදිරි අභියෝග ජය ගැනීමට අවශ්‍ය තරුණ ජවය මෙම ඩිප්ලෝමාධාරීන් තුළ පවතින බව මෙහිදී අදහස් දැක්වූ කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ඩබ්.පී. වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.
එම අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.
“මට වැඩ කරන්න කවදාවත් සහතිකවල අවශ්‍යතාවයක් තිබුණේ නැහැ. සහතික අවශ්‍යයයි. නමුත් ඇතැම් වෙලාවට සහතික අවශ්‍යම නැහැ. අපි හිතමු කෙනෙක්ට වයස අවුරුදු 50යි කියලා. එයා ඒ වගේ දහගුණයක් ජීවත් වුණොත් අවුරුදු පන්සියයක්. සාමාන්‍යයෙන් මනුස්සයෙක් අවුරුදු 500ක් ජීවත් වෙනකොට කරන වැඩ මම කරලා තියෙනවා. ඒකයි මම කිව්වේ තරුණයන්ට අභියෝග කරනවා කියලා.
මම අධ්‍යාපන ආයතන ගණනාවකට ගිහින් තියෙනවා. මම ගියපු හයවෙනි අධ්‍යාපන ආයතනය මගේ ජීවිතයේ ලොකු වෙනසක් කළා. ඒ හයවෙනි අධ්‍යාපන ආයතනය තිබුණේ අනුරාධපුර මල්වතු ඔය අයිනේ. එතන තමයි මාව කෘෂිකර්ම, පශු සම්පත්,ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශයේ ඇමති දක්වා ගෙනාවේ. ඒ පාසලේ අපි ඉගෙන ගත්තේ බිම ඉඳගෙන. ඊට කළින් මම අධ්‍යාපන ආයතන 5කට ගිහින් තියෙනවා. විදුහල්පතිවරයා අපෙන් ඇහුවා මොකටද ඉගෙන ගන්නේ කියලා. ඔබ හිතන්නේ මොකටද ඉගෙන ගන්නේ? විදුහල්පතිවරයාම පිළිතුර දුන්නා. ඉගෙන ගන්නේ ලෝකය තේරුම් ගන්න. ඔබ මේ පාඨමාලාව ඉගෙන ගෙන මොකද්ද කළේ? ඔබ පාසලේදී වෙන් වෙන් වශයෙන් ඉගෙන ගත් දේවල් එකට තියලා ඉගෙන ගත් විට අපිට ලෝකය පිළිබඳ තේරුම් ගන්න පුළුවන්. දැන් ඔබට කෘෂිකර්මය පිළිබඳ චිත්‍රයක් තියෙනවා. ඒ වගේම මිනිසුන් ගැන චිත්‍රයක් තියෙන්නත් උවමනයි.
චීනය ගොඩ නඟන්න මුල් ගල් තියපු දාර්ශනිකයා මාඕ සේතුං කියනවා අපි ලෝකය දැන ගැනීමේ එකම අභිප්‍රාය ලෝකය වෙනස් කිරීමයි කියලා. එහෙමනම් ඔබේ කාර්යය විය යුත්තේ තියෙන කෘෂිකර්මයම පවත්වාගෙන යාම නොවෙයි. එය වෙනස් කිරීමයි. අවුරුද්දකට ඔබ වෙනුවෙන් රුපියල් ලක්ෂ 6ක් අපේ රටේ මහජනතාව වැය කරලා තියෙනවා, මේ පාඨමාලාවට. පාඨමාලාව අවුරුදු 2 නම් ඒ සහා රුපියල් 12ක් වැය කරලා තියෙනවා. ඒ අයට ඔබ සේවය කළ යුතුමයි. අපි වෙනුවෙන් මේ දැවැන්ත කැපකිරීම කරපු මහජනතාව වෙනුවෙන්, වැය කළ ධනය වෙනුවෙන් ඔබ සේවය කළ යුතුයි.
අප ලෝකය තේරුම් ගත යුත්තේ එය වඩාත් යහපත් ලෙස වෙනස් කිරීමටයි. අලුත් අලුත් දේ නොතනන ජාතිය ලොව නොනඟී. අපි හැම ක්ෂේත්‍රයකම දේවල් අලුතින් නිර්මාණය කළ යුතුයි. අපි බලයට පත් වුණේ දේශපාලනය වෙනස් කරන්න. අමාත්‍යාංශයට වැඩ භාර ගන්න ගියා. පිළිගත්තා. අත්සන් කළා. නැට්ටුවෝ නැහැ. බෙර ගැහිලි නැහැ. මට වාඩි වෙන්න තිබුණු පුටුවත් උස පුටුවක්. බලන්න සංස්කෘතිය හදලා තියෙන විදිහ. තමන් ඉස්සරහට එන මිනිහා පුරවැසියෙක් නෙවෙයි. සමානයෙක් නෙවෙයි. පුටුවත් හදලා තියෙන්නේ තමන් ඉස්සරහට එන කෙනා පහත් කරන්න. මම පුටුව මාරු කළා. අපේ රට හදලා තියෙන්නේ මානසිකව තව මිනිහෙකුට යටත් කරන්න.
අපි මේ වෙනකොට වත්මන් ජනාධිපතිගේ සිට හිටපු ජනාධිපතිවරුන් දක්වා මහජනයාගේ ධනයෙන් වරප්‍රසාද ලැබීම අහෝසි කරලා ඉවරයි. පහුගිය දවසක නීතිඥ මහතෙකුයි පොලිස් නිලධාරී මහතෙකුයි අතර කථාවක් ගියා. එතනදි කාටද කියලා බලන්නේ නැතුව නීතිය ක්‍රියාත්මක වෙනු ලැබේ.
ඔබ මේ ඩිප්ලෝමා සහතිකය ලබාගෙන කෘෂිකර්ම ක්ෂේත්‍රය වෙනස් කරනවා කියලා හිතන්න. අලුත් දේවල් කරනවා කියලා හිතන්න. ශ්‍රමය වගුරුවන්න. එබේ ශ්‍රමයට වටිනාකමක් දෙන ආණ්ඩුවක් ඉන්නේ. ඔබේ ශ්‍රමයේ පංගුව ඔබට ලැබිය යුතුයි. ලෝකය වෙනස් කිරීමට ඩිප්ලෝමාධාරී ඔබට ශක්තිය ලැබේවා.”
මෙම අවස්ථාවට කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ඩබ්.පී. වික්‍රමසිංහ මහතා, කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය තුෂාර වික්‍රමාරච්චි මහතා, කෘෂිකර්ම විද්‍යාලවල විදුහල්පත්වරුන් ඇතුළු විශාල පිරිසක් සහභාගී විය.