
උතුරුමැද පළාත් මහ ඇළ ව්‍යාපෘතිය යටතේ මොරගහකන්ද කළු ගඟ ජලාශය හරහා උතුරු මැද පළාතට ජලය ගෙනයනු ලබයි. මොරගහකන්ද ජලාශයේ සිට මහකනදරාව දක්වා පළමු අදියර යටතේ මෙම ඉදිකිරීම් කටයුතු සිදු කරනු ලබයි. එම ඉදිකිරීම්වල කොටසක් ලෙස තත්පරයකට ඝන මීටර් 40ක ජල ප්‍රමාණයක් ගෙනයාමට මීටර් 7.6ක විෂ්කම්භයෙන් යුත් උමඟක් නිර්මාණය කරයි.
මෙඟින් අනුරාධපුර දිස්ත්‍රික්කයේ ජනතාවට පානීය ජලය ලබා දීමට බලාපොරොත්තු වෙයි. හෙක්ටයාර් 12,500කට වාරි ජලය ලබා දීම මඟින් ගොවි පවුල් රැසකට මෙම ව්‍යාපෘතිය හරහා ප්‍රතිලාභ හිමිවෙයි.
මොරගහකන්ද සිට මහකනදරාව දක්වා කිලෝමීටර් 95.8ක් දක්වා දිගින් යුත් ඇළක් නිර්මාණය වන අතර, එයින් කිලෝමීටර් 27.7ක් උමං මාර්ගයක් ලෙස ඉදිකරනුයේ වනජීවී රක්ෂිත ආදිය ආරක්ෂා කර ගැනීම සඳහාය. ඒ අනුව මෙ ව්‍යාපෘතිය පරිසර හානිය අවම කරමින් ක්‍රියාත්මක වේ. 2021 වසරේ මාර්තු මස 10වන දින ආරම්භ කළ ව්‍යාපෘතිය 2026 මාර්තු 16 දින නිමා වීමට නියමිතය. මේ වනවිට 64.5%ක් වැඩ අවසන් කර ඇත. ව්‍යාපෘතිය ආරම්භයේ සිට මුහුණ දුන් කොවිඩ් වසංගතය, ආර්ථික අවපාතය වැනි අභියෝග හමුවේ වුවද මෙය අඛණ්ඩව ක්‍රියාත්මක වීම විශේෂත්වයකි.
අද (14) දින උතුරුමැද පළාත් මහ ඇළ ව්‍යාපෘතිය නිරීක්ෂණය කිරීමට කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා එක් විය. එම අවස්ථාවට සහභාගී වෙමින් අමාත්‍යවරයා මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් අදහස් පළ කළේය.
“ මොරගහකන්දේ සිට උතුරුමැදට මහකනදරාව දක්වා අනුරාධපුර දිස්ත්‍රික්කයේ වතුර රැගෙන යෑම තමයි මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන ඉලක්කය. ඊළඟට වයඹ මහ ඇළ ව්‍යාපෘතිය තියෙනවා. අපි අද දිනයේ නිරීක්ෂණය කළේ මෙහි උමඟයි. මෙය දකුණු ආසියාවේ දැවැන්තම ව්‍යාපෘතියක්. 2026 අග වගේ වෙනකොට අවසන් කරන්න තමයි වැඩකටයුතු කරගෙන යන්නේ.
මෙම ව්‍යාපෘතිය උමා ඔය වගේ ව්‍යාපෘතියක් සමඟ සන්සන්දනය කරද්දි ගත්තම මෙයින් සිදුවන පරිසර හානි, ජනතාව මුහුණ දෙන ගැටළු අතිශයින් අඩුයි. භූගත ජලයට වුණත් වෙන බලපෑම අඩුයි. අපිට සිදුවන දැවැන්ත ගැටළුව තමයි, ඇතුළෙන් ඉවත්කරන ගල්කුඩු වගේ දේවල්වලට කරන්නේ මොකද්ද කියන එක. ඒවා රටේ වෙනත් සංවර්ධන කටයුත්තකට භාවිත කරන්න හැකියාව පවතිනවා. අපි මේක තියාගෙන ඉන්නේ වනජීවී ආරක්ෂිත කලාපයක. මේක නිකන් දීලා හරි ඉවත් කර ගන්න අවශ්‍යයි. මේක මහා සම්පතක් කරගන්න පුළුවන් ආයෝජකයෝ අපට අවශ්‍ය වෙලා තියෙනවා. දැනට මේ අහළපහළට සුළු ප්‍රමාණවලින් ගෙනියනවා. ඒ ගැනීමෙන් මේ ප්‍රශ්නයට උත්තරයක් එන්නේ නැහැ. ඒ නිසා රටේම ඉන්න ව්‍යවසායකයන්ට අපි මේ ගැන බලන්න කියලා කියනවා. අපි ඉතා ඉක්මනින් මේ උමඟ වැඩ අවසන් කර ගත යුතුයි.”