
ලෝක බැංකුවේ කෘෂි නවීකරණ වැඩසටහනේ සහය යටතේ රුපියල් මිලියන 100ක ප්‍රදානයක් සහිතව, රුපියල් බිලියන 2ක් ඉක්මවන ආයෝජනයක් සහිතව දකුණු ආසියාවේ විශාලතම ඇක්වාපොනික් (Aquaponic) තාක්ෂණික හරිතාගාරය ආරච්චිකට්ටුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කුමාරකට්ටුව ග්‍රාමයේදී අක්කර 18ක භූමි භාගයක අරඹා තිබුණ ද මේ වනවිට එය අතහැර දමා තිබේ. මේ සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කළ කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා පසුගිය දිනයක එහි නිරීක්ෂණ චාරිකාවක නිරත විය.
මෙම තාක්ෂණික හරිතාගාරය මඟින් මත්ස්‍යයින්ට අධික ප්‍රෝටීන් සහිත ආහාර සැපයෙන අතර, බහිස්‍රාවීය ජලය ජීව ක්‍රියාවලියක් තුළ නයිට්‍රේට් බවට පරිවර්තනය කරමින් තටාකවලට මුදා හරිනු ලැබේ. ශාක මූල පද්ධතිය මඟින් එම ජලයේ ඇති නයිට්‍රේට් සහ අනෙකුත් ඛනිජලවණ උරාගෙන පිරිසිදු ජලය නැවත මත්ස්‍යාගාරය වෙත ලබාදෙයි.
මෙම ව්‍යාපෘතිය යටතේ මත්ස්‍යයින් සහ ශාක වගා කරමින් මාස 8ක කාලයක් තුළ වගා කටයුතු ආරම්භ කරන ලදී. අන්තර්ජාතික තත්ත්ව ප්‍රමිති රැසක් සහ සියලු අනුකූලතා සහිත ව්‍යාපෘතියක් වශයෙන් මෙම ව්‍යාපෘතිය කිලෝග්‍රෑම් 20,000ත් 30,000ත් අතර මාසික නිෂ්පාදනයක් සිදු කරන ලදී. නමුත් 2021-2022 ආර්ථික අර්බුදය හමුවේ බීජ වර්ග, මත්ස්‍ය ආහාර මෙරටට ආනයනය සඳහා අවශ්‍ය අවසරපත් ලබා ගැනීම වසර එකහමාරක් පමණ ප්‍රමාද විය. නිෂ්පාදන ධාරිතාව 10%කට සීමා විය. අධික පිරිවැයක් දරමින් ක්‍රියාත්මක කළත් රජයේ නිසි අවධානය යොමු නොවීම නිසා මෙම වටිනා ව්‍යාපෘතිය අතරමඟ අතහැර දමන්නට සිදු විය.
මෙම ව්‍යාපෘතිය නිරීක්ෂණය සඳහා එක් වූ කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා අදාළ පාර්ශවයන් සමඟ සාකච්ඡා කර මෙම ව්‍යාපෘතිය නැවත ක්‍රියාත්මක කිරීමේ හැකියාව සොයා බලන බව සඳහන් කළේය.