
වාරිමාර්ග පුනරුදයක් වෙනුවෙන් ‘වාරි මහිම අපේ උරුමය’ ගල්ඔය වාරි ප්‍රතිසංස්කරණ සමාරම්භක උළෙල ගල්ඔය දකුණු ඉවුරු නෛකාඩුහිදී අද (05) පැවැත්වුණේ කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙනි.
මෙම අවස්ථාවට එක්වෙමින් වාරිමාර්ග අධ්‍යක්ෂ ජනරාල් අජිත් ගුණසේකර මහතා ප්‍රකාශ කළේ, වාරිමාර්ග දෙපාර්තමේන්තුව මඟින් වී වගාව සඳහා කුඹුරු අක්කර 50,000කට වැඩි ප්‍රමාණයක් සේනානායක සමුද්‍රය ඇතුළු ජලාශවලින් ජලය ලබා දෙන බවයි. රටේ සහල් නිෂ්පාදනය තුළ අම්පාර දිස්ත්‍රික්කය සුවිශාල දායකත්වයක් ලබා දෙන බවද, මෙහිදී අධ්‍යක්ෂ ජනරාල්වරයා සිහිපත් කළේය. අයවැය යෝජනා තුළින් රුපියල් මිලියන 1000කට ආසන්න මුදලක් අම්පාර දිස්ත්‍රික්කය වෙනුවෙන් වෙන් කර ඇති අතර, වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අයවැය තුළින් ද විශාල මුදලක් අම්පාර දිස්ත්‍රික්කය වෙනුවෙන් වෙන් කර ඇති බව ඒ මහතා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.
කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා මෙහිදී අදහස් පළ කළේය.
“මෙවර අයවැයෙන් වෙන් කර ඇති මුදල් නොවැම්බර් මාසය වනවිට යොදවා අවසන් කළ යුතුයි. දිඟාමඩුල්ල සඳහා රුපියල් මිලියන 900ක් වෙන් කරලා තියෙනවා. අද අපි ආරම්භ කළ මෙම කාර්යය වෙනුවෙන් රුපියල් මිලියන 150ක් වෙන් කරලා තියෙනවා. මෙම වැඩසටහන මඟින් වැව් බැම්මේ ආරක්ෂාවට පස් බැම්මක් යොදා තිබෙනවා. පස් බැම්ම ආරක්ෂා වීමට දිගටම කළුගල් යෙදිය යුතුයි. නැත්නම් මේ පස් බැම්ම ආරක්ෂා කර ගැනීමට හැකි වන්නේ නැහැ. වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසූ ආකාරයට බැම්ම දිගට කුඹුක් පැළ වගාවක් සිදු කළ යුතුයි. ඉන් වැව් බැම්ම දීර්ඝ කාලයක් ආරක්ෂා කර ගත හැකියි. කුඹුක් පැළ ආරක්ෂා කර ගන්න නම් අපට ගොවීන්ගේ, ගොවි සංවිධානවල සහයෝගය අවශ්‍යයයි. මේ පැළවලට සතුන්ගෙන් හානි සිදුවිය හැකියි. ඒ නිසා මම ඉල්ලීමක් කරනවා, ගොවි සංවිධාන ප්‍රදේශයේ මහජන නියෝජිතයෝ එක්ක එකතු වෙලා මේ පැළ ටික ආරක්ෂා කරලා දෙන ලෙස. ”
“වේගයෙන් වැඩ නොකළොත් මෙම කටයුත්ත නොවැම්බර් මාසය වනවිට අවසන් කළ නොහැකියි. ඉංජිනේරු මහතුන් වැව් බැම්ම සකස් කිරීම අවසන් කළ පසු අපට, නොවැම්බර් වනවිට වැව් බැම්ම ජනතා අයිතියට පැවරිය හැකියි.”
“ජනතාව සතුටු කරන රාජ්‍ය සේවයක් ගොඩ නැඟීමත් අපට විශාල අභියෝගයක්. අපි රාජ්‍ය නිලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා, පරණ ක්‍රමය අත්හැරලා මහජනතාව වෙනුවෙන් කැපවෙන්න, නැත්නම් මේ රට ගොඩ නඟන්න බැහැ. අපේ අමාත්‍යාංශයේ අපි අලුත් සංස්කෘතියක් ආරම්භ කළා. ඒ අනුව මහජනතාව අප වෙත ප්‍රශ්නයක් අරගෙන ආවොත් ඒ කෙනාගේ නම, දුරකථන අංකය අදාළ නිලධාරීයාට යොමු කළ විට එම නිලධාරීයා ගැටළුවට විසඳුමක් ලබා දිය යුතුයි. ඒ කාර්යය නිවැරදිව ඉටු කරන නිලධාරියෙක් ලෙස වාරිමාර්ග අධ්‍යක්ෂ ජනරාල්වරයාට මේ අවස්ථාවේදී මගේ ගෞරවය හිමිවිය යුතුයි.”
“අපි පෙන්වා දෙන ආදර්ශය විය යුත්තේ, දේශපාලඥයින් සහ රාජ්‍ය නිලධාරීන් ජනතාව වෙනුවෙන් වැඩ කළ යුතු බවයි. හැකි පමණින් අප ජනතාව සමඟ සම්බන්ධ විය යුතුයි. අප රාජ්‍ය සේවය ගොඩ නඟමින් සිටිනවා. ඒ සඳහා තව ටික කාලයක් ගත වේවි. දේශපාලනය නරක තැන සිට හොඳ තැන දක්වා වෙනස් කරමින් සිටින සංක්‍රමණීය අවදියක් අප පසු කරමින් සිටිනවා. සමාජය තුළත් විවිධ ගැටළු තිබෙනවා. එය වෙනස් කිරීමටත් කාලයක් අවශ්‍යයයි. සමාජය තුළත් ජාතිවාදය, ආගම්වාදය තිබෙනවා. සමාජය තුළ ඇති කළ යුත්තේ සහෝදරත්වයයි. දේශපාලනය, රාජ්‍ය සේවය, සමාජය, ආර්ථිකය වෙනස් කරගෙන මේ ගමන යා යුතුයි. අප එය ආරම්භ කළා පමණයි. එය භාරදූර වගකීමක්.”
මෙම අවස්ථාවට ග්‍රාමීය සංවර්ධන, මහජන ආරක්ෂණ හා ප්‍රජා සවිබල ගැන්වීමේ නියෝජ්‍ය අමාත්‍ය වසන්ත පියතිස්ස මහතා මෙන්ම වාරිමාර්ග දෙපාර්තමෙන්තුවේ නිලධාරීන් ද සහභාගී විය.
