දේශගුණ විපර්යාසයන් වලට ගොදුරු වන ගොවි ජනතාවගේ එම බලපෑම දරා ගැනීමේ ශක්තිය වැඩිදියුණු කොට ඔවුන්ගේ සුහුරු ගොවිපොලවල වාරි කෘෂිකාර්මික ඵලදායිතාවය ඉහල නැංවීමේ අරමුණින්, ලෝක බැංකු මූල්‍ය ආධාර මත කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන දේශගුණ සුහුරු වාරි කෘෂිකර්ම ව්‍යාපෘතිය තම ව්‍යාපෘති බල ප්‍රදේශයේ වගා කටයුතු වල නියැලෙන ගොවීන් 3787 දෙනකුට රුපියල් මිලියන 589 ක වියදමින් ක්ෂුද්‍ර ජල සම්පාදන ක්‍රම හඳුන්වා දෙයි.
වයඹ, උතුරු මැද, උතුර, නැගෙනහිර, දකුණ සහ ඌව යන පළාත් 6 යේ දිස්ත්‍රික්ක 11 ක දේශගුණ විපර්යාසවලට දැඩිව පාත්‍ර වන ගොවිජන සේවා බල ප්‍රදේශ 47 ක් තුල ක්‍රියාත්මකවන දේශගුණ සුහුරු වාරි කෘෂිකර්ම ව්‍යාපෘතිය, තෝරාගත් ගොවීන්ට මෙලෙස ක්ෂුද්‍ර ජල සම්පාදන ක්‍රම ලබා දී තිබේ.
ක්ෂුද්‍ර ජල සම්පාදන ක්‍රම ලෙස ගැනෙන විසිරුම් ජල සම්පාදන පද්ධති, බිංදු ජල සම්පාදන පද්ධති සහ මයික්‍රො ජෙට් පද්ධති, වයඹ පළාතේ ගොවින් 549 කටද , උතුරු මැද පළාතේ ගොවින් 840 කටද , උතුර පළාතේ ගොවින් 693 කටද, නැගෙනහිර පළාතේ ගොවින් 502 කටද, ඌව පළාතේ ගොවින් 691 කටද සහ දකුණු පළාතේ ගොවින් 512 කටද මේවනවිටත් සපයා ඇත.
ක්ෂුද්‍ර ජල සම්පාදන ක්‍රම භාවිතයෙන් භෝගයට අවශ්‍ය වන ජල ප්‍රමාණය භෝගයේ මූල මණ්ඩලය අසලට නිසි කාලාන්තර තුලදී ලබාදීම සිදු වෙයි. ව්‍යාපෘති බල ප්‍රදේශවල ජල සම්පත ඉතා සීමිත බැවින්, ක්ෂුද්‍ර ජල සම්පාදන පද්ධති භාවිතයෙන් අවම ජල ප්‍රමාණයකින් වැඩි අස්වැන්නක් ලබා ගත හැකිවන අතර භෝගයට පොහොර යෙදීමේදී ජල සම්පාදන පද්ධතිය මගින්ම සිදු කර ගැනීමේ පහසුවද ගොවීන් වෙත සැලසෙනු ඇත. එසේම ගොවීන්ට වසර පුරා භෝග වගා කිරීමේ හැකියාව ලැබෙන අතර අවාරයේ වගා කිරීමෙන් වැඩි ආදායමක් ලබා ගැනීමටද හැකිවේ.
දේශගුණ සුහුරු වාරි කෘෂිකර්ම ව්‍යාපෘතිය මඟින් මේ වනවිට කෘෂි ළිං 1142 ක් ප්‍රතිසංස්කරණය කර ඒ යටතේ හෙක්ටයාර 1112 ක බිම් ප්‍රමාණයක භෝග වගා කර ඒ තුලින් මෙට්‍රික් ටොන් 3082 ක අස්වැන්නක් ලබා ගැනීමට සමත් වී ඇත. වගා බිම් තුල සූර්ය බල ජල පොම්ප භාවිතයෙන් විසිරුම් හෝ බිංදු ජල සම්පාදන පද්ධති ස්ථාපිත කිරීමද ව්‍යාපෘතිය මඟින් සිදු කරන අතර එමගින් වායුගෝලයට හරිතාගාර වායූන් මුදා හැරීම අවම වේ. සූර්ය බල ජල පොම්ප භාවිතයෙන් ඉන්ධන සඳහා යන වියදම මගහැරීම ගොවීන් වෙත සැලසෙන තවත් වාසියකි. දේශගුණ සුහුරු වාරි කෘෂිකර්ම ව්‍යාපෘතියෙන් ආවරණය වන ප්‍රදේශයන්හි හෙක්ටයාර 707 ක වගා බිම් ප්‍රමාණයක ක්ෂුද්‍ර ජල සම්පාදන ක්‍රම භාවිතා කර භෝග වගා කිරීම මේ වනවිට සිදුවේ.