Header jpg

   



පොලොන්නරුව පරාක්‍රම සමුද්‍ර ව්‍යාපාර ගොවි සංවිධානයේ ඉල්ලීම ඵල දරයි. වගා හානි සදහා අක්කරයකට ගෙවන රක්ෂණ වන්දි මුදල රුපියල් ලක්ෂය දක්වා වැඩි කිරීමට කෘෂිකර්ම අමාත්‍යවරයාගෙන් අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක්.

PLNT0542 1

වගා හානි වන්දි ලබා දීමේ දී දැනට අක්කරයක් සඳහා රජය විසින් නොමිලයේ ගෙවනු ලබන රුපියල් 40,000ක මුදල රුපියල් 100,000ක් දක්වා වැඩි කරන්නැයි පොලොන්නරුව පරාක්‍රම සමුද්‍ර ව්‍යාපාර ගොවි සංවිධානය ඊයේ (20) කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාගෙන් ඉල්ලීමක් කළේය.

පොලොන්නරුව පරාක්‍රම සමුද්‍ර ව්‍යාපාර ගොවි සංවිධානයේ සාමාජිකයින් පිරිසක් ඊයේ පස්වරුවේ කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී අමාත්‍යවරයා හමු වී ගොවි ගැටළු පිළිබඳ සාකච්ඡාවක් පැවැත්වූ අතර එහිදී එම ගොවි සංවිධානය විසින් අමාත්‍යවරයා වෙත යෝජනා මාලාවක් ද ඉදිරිපත් කළේය.

ඔවුන් විසින් ඉදිරිපත් කළ යෝජනා අතර ප්‍රමුඛ යෝජනාවක් වුයේ මේ වනවිට සෑම වසරකම නියඟය, ගංවතුර සහ වනසතුන්ගෙන් සිදුවන වගා හානි ඉහළ යමින් පවතින නිසා වගා හානියක දී දැනට අක්කරයක් සඳහා රජය විසින් කිසිදු දායකත්ව මුදලක් ලබා නොගනිමින් ගෙවනු ලබන රුපියල් 40,000ක වන්දි මුදල රුපියල් 100,000ක් දක්වා ඉහළ නැංවීමට පියවර ගන්නා ලෙසයි.

ඒ අනුව වගා හානි සිදුවන හෙක්ටයාර් එකකට රුපියල් 250,000ක වන්දි මුදලක් හිමි වේ.

මෙහිදී අදහස් පළ කළ කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා මේ වනවිටත් වගා හානි වන්දි මුදල අක්කරයකට රුපියල් 100,000ක් වශයෙන් ගෙවීම සඳහා අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් තමන් ඉදිරිපත් කර ඇති බවත්, ඒ සඳහා ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ එකඟත්වය පළ වී ඇති බවත් සඳහන් කළේය.

මෙම වගා හානි වන්දි ලබා දීමේ වැඩ පිළිවෙළ යටතේ නියඟය, ගංවතුර හා වන සතුන්ගෙන් සිදුවන වගා හානි සඳහා වන්දි ලබා දීම සිදු කෙරේ. ඒ අනුව බෝග වර්ග හයක් මෙම කෘෂි රක්ෂණය වැඩ පිළිවෙළ යටතේ ආවරණය කෙරේ. වී, බඩඉරිඟු, මිරිස්, ලූණු, සෝයා බෝංචි සහ අර්තාපල් එම බෝග වර්ග හයයි.

මෙහි ඇති විශේෂත්වය වන්නේ මෙම වගා හානි වන්දි ලබා දීමේ දී ගොවි ජනතාවගෙන් කිසිදු දායකත්ව මුදලක් අය නොකිරීමයි.

මෙම යල කන්නයේ අධික වර්ෂාව නිසා සිදුව ඇති වගා හානි සඳහා කඩිනමින් වගා හානි වන්දි ලබා දීම සඳහා තමන් කෘෂිකාර්මික හා ගොවි ජන රක්ෂණ මණ්ඩලයට උපදෙස් දී ඇති බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

මීට අමතරව ආනයනික කෘෂි උපකරණ සඳහා රජය තීරු බද්දක් අය නොකරන බව කී අමාත්‍යවරයා සියලු කෘෂි උපකරණ ආනයනය කිරීමේ දී සියලු බදුවලින් නිදහස් කිරීමට රජය පියවර ගෙන ඇති බව ද සඳහන් කළේය. අගය එකතු කළ බද්ද ඇතැම් කෘෂි උපකරණ සඳහා අය කළත් එම බදු මුදල් නැවත අය කර ගත හැකි වීමේ පදනම මත (Refundable) පනවා ඇති බව ද සඳහන් කළේය.

මෙම සාකච්ඡාවට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ නිලධාරිහු පිරිසක් ද සහභාගි වූහ.

සමාජීය

Facebook
                        

කෘෂිකර්ම, ඉඩම්, පශු සම්පත්, වාරිමාර්ග, ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශය

 

80/5,

ගොවිජන මන්දිරය,

රජමල්වත්ත පටුමග,

බත්තරමුල්ල, ශ්‍රී ලංකාව.

දුරකථන : +94-11-2034300

 

ඊ- මේල් : info@agrimin.gov.lk

ප්‍රකාශන හිමිකම © 2019  කෘෂිකර්ම අමාත්‍යාංශය

සියලු හිමිකම් ඇවිරිණි

සැලසුම් නිර්මාණය