Header jpg

   



ශ්‍රී ලංකාවේ කෘෂි නිෂ්පාදන සදහා අන්තර්ජාතික වෙළෙදපළ තුළ ඉහළ ඉල්ලුමක් පවතින අතර එම වෙළෙඳපල අල්ලා ගැනීමට අවශ්‍ය සහයෝගය ලබා දීමට තම රට සූදානම් බව මෙරට නෙදර්ලන්ත තානාපතිතුමිය පවසයි.

PLNT1021 2

ශ්‍රී ලංකාවේ කෘෂි නිෂ්පාදන සඳහා අන්තර්ජාතික වෙළෙඳපලෙහි ඉහළ ඉල්ලුමක් ඇති බවත්, එම වෙළෙදපළ හසු කර ගැනීම සඳහා මෙරට රජය මෙන්ම ව්‍යාපාරිකයින්ද උනන්දු විය යුතුයැයි ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත තානාපතිනි HE the Bonnie Horbach මහත්මිය පැවසුවාය. එමෙන්ම ඒ සඳහා අවශ්‍ය සහයෝගය තමන්ට ලබා දිය හැකි බවද ඇය පැවසුවාය.

නෙදර්ලන්තය හා ශ්‍රී ලංකාව අතර කෘෂිකර්ම හා වැවිලි කර්මාන්තය ආශ්‍රිතව තාක්ෂණික සම්බන්ධතා වර්ධනය කර ගැනීමේ අරමුණ පෙරදැරිව එම මහත්මිය හා නෙදර්ලන්ත තානාපති කාර්යාලයේ කෘෂිකාර්මික අංශ පිළිබඳව උපදේශක Michial Van Erkel මහතා සහ කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා අතර සාකච්ඡාවක් ඊයේ (26) පස්වරුවේ කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී පැවැත්විනි.

විශේෂයෙන් නෙදර්ලන්තය විසින් දැනට භාවිතා කරන නව කෘෂි තාක්ෂණය හා පුහුණුව පිළිබඳ මෙහිදී සාකච්ඡා විය. මේ වනවිටත් නෙදර්ලන්ත රජයේ අනුග්‍රහයෙන් පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ පවත්වාගෙන එන පුහුණුකරුවන් පුහුණු කිරීමේ පාඨමාලා සම්බන්ධව මෙහිදී සාකච්ඡා විය. එම පුහුණු පාඨමාලා තවදුරටත් පුළුල් කිරීමටත් පුහුණුව ලබා දෙන සිසු පිරිස ඉහළ නැංවීමටත් පියවර ගැනිම සම්බන්ධව ද සාකච්ඡා කළේය.

නෙදර්ලන්තයට විසිතුරු මල් ආනයනයේ දී වැඩිපුරම කෙන්යාවේ සිට ආනයනය කරන අතර ඒ සඳහා අවස්ථාවක් ශ්‍රී ලංකාවට ලබා දීමට හැකි බව ද තානාපතිතුමිය පැවසුවාය. විශේෂයෙන් ශ්‍රී ලංකාව යනු මල් වගාවට ඉතා හොඳ ශක්‍යතාවයක් ඇති රටක් වන හෙයින් ශ්‍රී ලංකාවට විදේශ රටවල සිට මල් ආනයනය කිරීම ගැන තානාපතිනිය සිය කණගාටුව පළ කළාය.

එමෙන්ම ශ්‍රී ලංකාවේ කුළුබඩු වන ගම්මිරිස්, කෝපි, කුරුඳු හා කරඳමුංගු යනු ලෝකයේ අංක එකේ කුළුබඩු බවත් ඒවා අපනයනය සඳහා වැඩිපුර වගා කිරීම කෙරෙහි අවධානය යොමු කරන ලෙස ද තානාපතිනිය පැවසුවාය.

මෙහිදී අදහස් පළ කළ කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා කෝපි, කුරුදු වගාව තවදුරටත් වයාප්ත කිරීම සඳහා මෙම වසරේ දී විශාල මුදලක් රජය වෙන් කර ඇති බව සඳහන් කළේය.

එමෙන්ම කෘෂි අංශයේ නවීන තාක්ෂණය සඳහා ගොවීන් පුහුණු කිරීමට අවශ්‍ය පුහුණුකරුවන් සඳහා පවත්වන පුහුණු පාඨමාලාවලට නෙදර්ලන්ත රජයේ සහයෝගය ලබා දීම ගැන ද අමාත්‍යවරයා කෘතඥතාවය පළ කළේය. කෘෂි අංශ නවීකරණය සඳහා ශ්‍රී ලංකාව ගෙන යන වැඩ පිළිවෙළට සහයෝගය ලබා දෙන ලෙස ද අමාත්‍යවරයා ඉල්ලිමක් කළේය.

16, 17 වන සියවස්වල දී ඔලන්ද ජාතිකයින් ශ්‍රී ලංකාව ආක්‍රමණය කළේ ශ්‍රී ලංකාවේ කුළුබඩු නිසා බව සිහිපත් කළ තානාපතිනීය එතැන් සිට මේ දක්වා තවමත් ශ්‍රී ලංකාවේ කුළුබඩු ලෝකයේ අංක එකෙහි පැවතීම ගැන තම සතුට පළ කළාය.

මෙම අවස්ථාවට කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිලධාරිහු ද සහභාගි වූහ.

PLNT0982 1

සමාජීය

Facebook
                        

කෘෂිකර්ම, ඉඩම්, පශු සම්පත්, වාරිමාර්ග, ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශය

 

80/5,

ගොවිජන මන්දිරය,

රජමල්වත්ත පටුමග,

බත්තරමුල්ල, ශ්‍රී ලංකාව.

දුරකථන : +94-11-2034300

 

ඊ- මේල් : info@agrimin.gov.lk

ප්‍රකාශන හිමිකම © 2019  කෘෂිකර්ම අමාත්‍යාංශය

සියලු හිමිකම් ඇවිරිණි

සැලසුම් නිර්මාණය