2022/ 23 මහ කන්නයේ දී මෙරට වැඩිම වී අස්වැන්නක් ලද ගොවීන් සිවු දෙනාට සහ වැඩිම වී අස්වැන්න ලබා ගැනීමට හේතු වූ At 362 වී ප්‍රභේදය සොයා ගත් කෘෂි පර්යේෂණ විද්‍යාඥයාට රට වෙනුවෙන් සිදු කළ මෙහෙවර අගය කරමින් උපහාර තිළිණ ප්‍රදානය කිරීම පසුගිය 03 දින ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමන් අතින් සිදු කෙරිණි.
කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ දේශපාලන ගමනට වසර 32ක් සපිරිම නිමිත්තෙන් මාගම් රුහුණුපුර ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැති අමරවිරු අභිමන් 32 වැඩ සටහන පැවැති අවස්ථාවේ දී මෙම තිළිණ ප්‍රදානය කරනු ලැබීය.
ඒ අනුව පසුගිය මහ කන්නයේ දී හෙක්ටයාර් එකකට වැඩිම වී අස්වැන්නක් ලද අම්බලන්තොට රිදියගම කේ. පී. ඩී. ඊ. ජයසේකර, මාලා පරණමාන, ජී . අබේසිංහ හා ජානක නුවන් දිසානායක යන ගොවි මහත්ම මහත්මීන්හට ජනාධිපතිතුමන් අතින් තිළිණ ප්‍රදානය කරනු ලැබිනි.
මෙම ගොවීන් සිව්දෙනා හෙක්ටයාර් එකකට වී මෙට්‍රික් ටොන් 10-11 අතර ප්‍රමාණයක් අස්වනු ලබා ගෙන තිබේ. දැනට හෙක්ටෙයාර් එකකට ලබන අස්වැන්න ප්‍රමාණය මෙට්‍රික් ටොන් 3 - 4.5 දක්වා ප්‍රමාණයකි. මෙම වී අස්වනු ප්‍රමාණය මෙතෙක් ඉතිහාසයේ හෙක්ටයාර් එකකින් ලද වැඩිම වී අස්වැන්න වේ. මෙම ගොවීන් සියලු දෙනාම At 362 වී ප්‍රභේදය වගා කර තිබෙන අතර රසායනික පොහොර, කාබනික පොහොර මෙන්ම දහයියා අළු හා පිදුරු ද වගාව සඳහා යොදා ගෙන ඇති බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව තහවුරු කර තිබේ.
At 362 වී ප්‍රභේදය මෙරටට හඳුන්වා දුන් පර්යේෂණ නිලධාරි ජී. ඒ. ජිනදාස මහතාට ද ජනාධිපතිතුමන් අතින් සම්මාන පිරිනමනු ලැබීය.
මෙම අවස්ථාවට කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර හා කතානායක මහින්ද යාපා අබේවර්ධන යන මහත්වරු ද සහභාගි වූහ.