01

   
English (UK)SinhalaSriLankaTamilIndia


එප්පාවල කොට්ඨාශයේ ගොවි සමිති 36 ක සභාපතිවරුන් ඇතුළු නිළධාරීන් පිරිසක් එප්පාවලදී පැවැත්වූ මාධ්‍ය සාකච්චාව

එලැඹෙන 12 වැනි දිනට පෙර සම්බා වී කිලෝවක් රුපියල් 52 ටත්, නාඩූ වී කිලෝවක් රුපියල් 48 ටත් ලෙස පෙර පැවති සහතික වී මිළ ලබා දෙන ලෙසත්, නොඑසේනම් 12 වැනි දින මහවැලි එච් කළාපයේ එප්පාවල කොට්ඨාශයේ ගොවි සමිති 36 ක ගොවි ගෙවිලියන් 5000 කට ආසන්න පිරිසක් සමඟ පාරට බැසීමට සූදානම් බව එප්පාවල කොට්ඨාශයේ ගොවි සමිති නායකයින් මාධ්‍ය හමුවක් කැඳවමින් ඊයේ (06) රාත්‍රියේ රජයට අනතුරු ඇඟවීය.

එප්පාවල කොට්ඨාශයේ ගොවි සමිති 36 ක සභාපතිවරුන් ඇතුළු නිළධාරීන් පිරිසක් එප්පාවලදී පැවැත්වූ මාධ්‍ය සාකච්චාවකදී මේ බව ප්‍රකාශ කර සිටියහ.

එහිදී අදහස් දැක්වූ එප්පාවල කොට්ඨාශ අනුකමිටුවේ සභාපති බන්දුල පියරත්න මහතා,

මේ වන විට 2019 මහ කන්නයේ වී අස්වනු නෙලීම ආරම්භ වෙලා තියෙනවා, අද වන විට සමස්ථ ගොවියා ඛේදවාචකයකට මුහුණ දී සිටිනවා වී සදහා සාධාරණ මිලක් නොදීම හේතුවෙන්.මේ වන විට වෙළඳපොලේ රුපියල් 30/=, 33/=, 35/= ට හිතුවක්කාරී ලෙස ව්‍යාපාරිකයින්ට අවශ්‍යය ලෙස අපේ වී අස්වැන්න මංකොල්ලා කන තත්වයක් ඇති වී තිබෙනවා.ආණ්ඩුව පැත්තෙන් මෙයට අදාළ ක්‍රියාමාර්ගයක් ගන්නේ නෑ.රජය පැත්තෙන් ප්‍රකාශ කරනවා, වී අලෙවිමණ්ඩලය හරහා නාඩූ වී රුපියල් 38 හා සම්බා වී රුපියල් 41 ට මිලදී ගන්නවා කියලා.හැබැයි ඒ මිලට වී මිලදී ගෙන අපිට සාධාරණයක් ඉටු කරනවා කියලා අපි හිතන්නේ නෑ.මීට පෙර වී අලෙවිමණ්ඩලය නාඩූ වී රුපියල් 48 ටත්, සම්බා වී රුපියල් 52 කටත් මිලදී ගත්තා.අපි ඉල්ලන්නේ පොලොන්නරුවෙන් බිහි වූ ගොවිපුතෙක් වුණ ජනාධිපතිතුමන්ගෙනුත්, අනුරාධපුර ගොවි ජනතාවගේ ජන්දයෙන් බලයට පත් වුණ කෘෂි ඇමති පී හැරිසන් ඇමතිතුමන්ගෙනුත් අපි ඉල්ලන්නේ වඩා ඉහළ මිලක් නෙමෙයි පෙර පැවති රුපියල් 48 හා 52 කියන මිළට අපේ වී මිලදී ගැනීම සිද්ධ කරන්න කියලා.කන්න 04-05 ක් වතුර නැතිව මහා අමාරුකම් ඇතිව අපි ජීවත් වුණේ, මෙවර තමයි අපි 100% ක් වතුර ලැබිලා ගොවිතැන සාර්ථක කර ගන්න හැකියාව ලැබුණේ, මේ වගාව නිසි ලෙස කර ගත් අන්තිම මොහොතෙත් කීඩෑවන්ගෙන් ගොයමට මහා දැවැන්ත හානියක් සිද්ධ වුණා, ඇතැම් ගොවිබිම් කීඩෑ උවදුරෙන් පූරණ වශයෙන් හානි වෙලා තියෙනවා.ඇතැම් කුඹුරු වල හරි අඩක්, කෙටසක් හානි වෙලා තියෙනවා.නමුත් අපි මේ පිළිබඳ කෘ.ප.නි.ස නිළධාරීන් දැනුවත් කිරීමේදී ඔවුන් කිව්වේ කීඩෑ හානියේදී වන්දි ගෙවන්නේ පූරණ හානී වූ වගාවක් ලෙස ඒ වගාව අයින් කරන්න ඕන කියලා.හැබැයි අපේ ගොවියාගේ පැතුම තමන්ගේ වී ඇටේ කෙසේ හෝ ගෙට ගැනීමයි.තමන්ගේ බඩ සරි කරගන්න, දරුවන්ට පොත්-පත් ඇදුම් පැළඳුම් අරන් දෙන්නේ මේ කුඹුරේ අස්වැන්නෙන්.කීඩෑවෝ කෑවා කියලා අස්වැන්න කුඹුරේදීම විනාශ වෙන්න අරින්න කවුරුත් කැමති නෑ.කීඩෑ හානියට ඉපනැල්ලට පමණක් වන්දි ගෙවන්න අරගෙන තියෙන තීන්දුවෙනුත් ගොවියන් කබලෙන් ලිපට වැටෙන තත්වයට පත් වෙලා තියෙනවා.

කෘෂි කර්මාන්තයත් එක්ක දෛනිකව ජීවත් වෙන, රටට බත සපයන ගොවියාගේ අස්වැන්නට සාධාරණ මිලක් දෙන්න කියලයි අපි හැමෝම මේ එකට එකතු වෙලා ඉල්ලන්නේ.අපි අක්කර 2 ½ ක් වගා කරන්න විශාල මුදලක් වැය කරනවා.අපි ඒ ඉලක්කම් එකතු කරලා බැලුවා.එහිදී රුපියල් එක් ලක්ෂ තිස් දහසකට ආසන්න මුදලක් මාස 06 ක් තිස්සේ අක්කර 2 ½ ක කුඹුරක් වෙනුවෙන් වැය කරනවා.මේ අක්කර 2 ½ න් දළ වශයෙන් වී කිලෝ 5000 ක් පමණ තමයි අපි අස්වැන්න ලෙස ලබා ගන්නේ.ආණ්ඩුවෙන් සම්බා කිලෝවක් 41 ට මිලදී ගන්නවා කියලා කිව්වත් වෙළඳපොලේ රුපියල් 35 ට මිලදී ගන්නේ.මේ මිළ දෙකම අපිට ප්‍රමාණවත් නෑ, අපි මාස 06 ක් ජීවත් වෙන්නේ මේ ලැබෙන ලාභයෙන්, ඒ වගේම ඉදිරියේ එනවා සිංහල හින්දු අලුත් අවුරුද්ද, අපිත් අපේ දරුවන් එක්ක අවුරුදු කන්න ආසයි.හැබැයි මේ මිලත් එක්ක අපිට අවුරුදු කන්න, මාස 06 ක් ජීවත් වෙන්න බෑ, අපි ජීවිතය විඳිනවා වෙනුවට විඳවන තත්වයට පත් වෙලා තියෙනවා.අපේ කේඩෑරි වුණ ජීවිතයට නගා සිටුවන්න කටයුතු කරන්න කියලා අපි රජයෙන් ගොවි නායකයෝ විඳිහට ඉල්ලීමක් කරනවා සම්බා වී කිලෝවක් 52 ටත්, නාඩූ වී කිලෝවක් රුපියල් 48 ට ත් මිළඳී ගන්න සහතික මිලක් ඇති කරන්න කියලා.ගොවියෝ ණය වෙලා ගොවිතැන් කරන්නේ.අස්වැන්න විකුණලා මේ ණයත් පියවන්න ඕන.අපි මේ සහතික මිළ ඇති කිරීම සඳහා යම් කාලයක් ලබා දෙනවා.එළැඹෙන 12 වැනිදා වෙන කොට මේ මිළ ලබා දෙන්න, මේකට අපේ පොලොවේ සුවඳ හදුනන ගොවි පුතෙක් වන ජනාධිපතිතුමා, දහඩිය සුවඳ හදුනන පී හැරිසන් ඇමතිතුමා ඇහුම්කම් නොදුන්නොත් අපි එප්පාවල ගොවි සමිති 36 ක සාමාජිකයෝ එක්ක එප්පාවල නගරයේදී පාරට බහින්න ලෑස්තියි.අපි මහ පොළවත් එක්ක පොර බදලා රටට බත සපයන මිනිස්සු අපේ අයිතිය දීපල්ල කියලා අපිට කෑ ගහලා කියන්න පාරට බහින්න සිද්ධ වෙලා තියෙනවා.මේ සාධාරණ මිල ලබා දෙන තුරු උද්‍ඝෝෂණ, සත්‍යග්‍රහ කරන්න අපි සූදානම්.අපිට මේ මිළ ලබා දෙන තුරු අපි සටන් කරන්න සූදානම්.

එප්පාවල කොට්ඨාශයේ ගොවි පවුල් 3600 ක් පමණ නියෝජනය කරනවා, මේ තුන් වැනි පරම්පරාව අපි අනිවාර්යෙන් 5000 කට වැඩි පිරිසක් ගෙනත් එප්පාවල නගරයේ පාරට බස්සලා සමස්ථ රටේ ගොවි ජනතාව පාරට බස්සන් සූදානම් කියලා අපි අනතුරු අගවනවා.

මිළ සූත්‍ර ගේනවා කියලා ඇමතිවරයා කියනවා.මොන සූත්‍රය හරි ගෙනල්ලා ගොවියාට සාධාරණයක් ඉටු කරන්න කියලා.මෙවර අය-වැයෙන් ගොවියා ගැන කථා නොකිරීම ගැන අපිට බරපතල කම්පාවක් තියෙනවා.පාලකයෝ මේ රටේ 80% ක් වුණ ගොවි ජනතාවව ගැන කථා නොකිරීම ගැන කණගාටුවක් තියෙනවා.

403 ඩී 04 සභාපති කේ.ජී ගුණරත්න බංඩා,

මේ රජය පිහිටුවන්න මූලිකව කටයුතු කළ ගොවිනායකයෝ අපි, හැබැයි අපි හිතුවේ නෑ මේ රජය මේ තත්වයට ගොවියා පත් කරයි කියලා.අපි බලාපොරොත්තු වුණා මේ අය-වැයෙන් වී සඳහා ස්ථාවර මිලක් ලෙස 52 හා 48 කියන මිල ලැබෙයි කියලා.හැබැයි පැවති මිලටත් වඩා අඩු මිලකටයි අද වී මිලදි ගන්නේ.අද බුලත් විටක් එකක් රුපියල් 40 යි, වි කිලෝවක් රුපියල් 30 යි.රජරට ඉපදුන ජනාධිපතිතුමා-කෘෂි ඇමතිතුමා ඇයි ගොවියාට මේ තරම් අසාධාරණයක් කරන්නේ.මේ අසාධාරණයට එරෙහිව අපි නැගී සිටින්න සූදානම්, අපි 12 වැනිදා වනතුරු කල් දෙනවා.අපිට සාධාරණයක් ඉටු නොවුනොත් සමස්ථ ගොවියෝ සමඟ පාරට බහිනවා.මේක දේශපාලන ගැටලුවක් නෙමෙයි.ගොවියාගේ අසාධාරණයට සාධාරණයක් ඉල්ලා කරන සටනක්.

 

407 ඩී 2 ගොවි සංවිධානයේ සභාපති එච්.බී සෝමදාස මහතා,

අද හාල් කිලෝවක් රුපියල් 100 න් ඉහළ, වී කිලෝවක් රුපියල් 30 ටත් දෙන්න බෑ, අද වී කිලෝ එකක් විකුණලා වී දාන උරයක් ගන්න බෑ, උරයක් රුපියල් 45 ක් වෙනවා.මේ වගේ තත්වයක් උඩ ඉදිරියේදී ගොවිතැන කරන්න අසීරු වෙනවා.ගොවියෝ නැති වෙනවා.අය-වැය ඉදිරිපත් කරද්දී යම් හෙයකින් ගොවියා අමතක වුණා නම් හැකි ඉක්මනට සංශෝධනයක් ලෙස ගොවියාට සාධාරණයක් ඉටු වෙන ක්‍රමවේදයක් ලෙස වී සඳහා ස්ථාවර මිලක් ලෙස 48 හා 52 යන වී මිළ ලබා දෙන්න.ඒ වගේම වී මිළඳී ගන්නා ස්ථාන සඳහා ගබඩා පහසුකම් ඇති කර ගොවියාට සාධාරණයක් ඉටු කරන්න.එහෙම නොවුන හොත් අපි මහ පාරට බැහැලා අපේ සටන දිනන්න අපි ලෑස්තියි යනුවෙන් පැවසීය.

 

මෙම අවස්ථාවට ගොවි සමිති නායකයින් පිරිසක් සහභාගී වූහ.

   


Last Updated on සදුදා, 11 මාර්තු 2019 04:13

සමාජීය

කෘෂිකර්ම,ග්‍රාමීය ආර්ථික කටයුතු, වාරිමාර්ග සහ 

ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය

288,

ශ්‍රී ජයවර්ධනපුර මාවත ,

රාජගිරිය, ශ්‍රී ලංකාව.

දුරකථන : +94-11-2869553

ෆැක්ස් : +94-11-2868910

ඊ- මේල් : This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

ප්‍රකාශන හිමිකම © 2019 කෘෂිකර්ම,ග්‍රාමීය ආර්ථික කටයුතු, වාරිමාර්ග සහ

ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය

සියලු හිමිකම් ඇවිරිණි

සැලසුම් නිර්මාණය