English (UK)SinhalaSriLankaTamilIndia


වව්නියාව දිස්ත්‍රික්කයේ පුරන් කුඹුරු අක්කර 550ක මෙවර මහ කන්නයේ පාරම්පරික වී වගාව අරඹයි.

 

2018 මහ කන්නයේ වව්නියාව දිස්ත්‍රික්කයේ පුරන් කුඹුරු අක්කර 550ක පාරම්පරික වී වගා කිරීමෙ වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය සැලසුම් කර ඇත. ඒ අනුව ශ්‍රී ලංකාවේ දේශීය පාරම්පරික වී වර්ග වන සුවඳැල්, රත්හැල්, කුරුලුතුඩ, මරදවාලු වැනි වී වර්ග රැසක් වගා කිරීමට කටයුතු යොදා ඇති අතර එම කටයුතු කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (05) වව්නියාවේදී ආරම්භ විය.

 

වව්නියාව නගරසභා ශාලාවේ දී පැවති ජන හමුවක දී වව්නියාව දිස්ත්‍රික්කයේ පාරම්පරික වී වගා කරන සහ උඳු වගා කරන ගොවින් හමු වී අමාත්‍යවරයා සාකච්ඡා කළේය. එහිදී ගොවීන්ට වගා කිරීමට අවශ්‍ය පාරම්පරික බිත්තර වී සහ උඳු බීජ ලබා දීම ද සිදු කෙරුණි. කෘෂිකර්ම දෙපාර්තුමේන්තුව විසින් නිර්දේශිත හා එම දෙපාර්තුමේන්තුව විසින් නිපදවන බීජ මෙහි දී බෙදා දෙනු ලැබීය.

 

මෙහිදී අදහස් පලකළ අමාත්‍යවරයා -

ශ්‍රී ලංකාවට වාර්ෂිකව අවශ්‍ය උඳු ප්‍රමාණය මෙ.ටො 20,000කි. වාර්ෂිකව අප රට තුල උඳු මෙ.ටො 12,000ක් නිෂ්පාදනය කරනවා. සෑම වසරකදී ම උඳු මෙ.ටො 8,000ක් පමණ ඉන්දියාවෙන් අප රටට ආනයනය කරනවා. ඒ සඳහා අපේ රටෙන් ඇදී යන මුදල රු.මිලියන 2000ක්. වව්නියාව දිස්ත්‍රික්කයේ අක්කර 16,000කට මෙවර මාස් කන්නයේ උඳු වගා කරනවා. එමඟින් අපි අපේක්ෂා කරන අස්වැන්න මෙ.ටො 8,000ක් පමණ. මෙම උඳු අස්වැන්න ලබා ගැනීම මඟින් උඳු ආනයනය කිරීමට වැය වන මුදල අපේ රටේ ඉතිරි කර ගැනීමට හැකි වෙතැයි මම බලාපොරොත්තු වෙනවා.

 

අපේ රටේ පාරම්පරික වි වර්ග රැසක් තිබෙනවා. එම වී වර්ග බොහෝ විට ඉහළ පෝෂගුණයකින් හෙබි එමෙන්ම බෝ නොවන රෝග රැසක් වැලැක්විය හැකි බවට විශ්වාස කරනවා. එම නිසාම වර්තමානයේ දේශීය වෙළඳපල තුල අපේ පාරම්පරික වී වගාවට ඉල්ලුම තිබෙනවා. සාමාන්‍යෙයන් සුපිරි වෙළඳසැලක පාරම්පරික සහල් කිලෝවක් රුපියල් 200කට වඩා ඉහළ මිලක පවතිනවා. පාරම්පරික වී වගා කිරීම තුලින් ඉහළ ආදායමක් අපේ රටේ ගොවියන්ට ලබා ගත හැකියි. ඒ නිසායි වව්නියාව දිස්ත්‍රික්කයේ පුරන් කුඹුරු අක්කර 550ක අපි වගාව ආරම්භ කරන්නේ. අපේ රටේ දේශීය ගොවියා ආරක්ෂා කිරීමට ගත හැකි සියලුම ක්‍රියාමාර්ග අපි රජය වශයෙන් ගන්නවා . අපිට අවශ්‍ය නැහැ, පිටරට ගොවියන් ආරක්ෂා කරන්න. අපිට වැදගත් වන්නේ, අපේ රටේ ගොවියා සහ ගොවිකමයි. ඒ නිසා ඔවුන් ආරක්ෂා කරන්න අපි සෑමවිටම කටයුතු කර යැයි අමාත්‍යවරයා සඳහන් කළේ ය.

 

මෙම අවස්ථාවට කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය අංගජන් රාමනාදන් මහතා සහ නියෝජ්‍ය අමාත්‍ය කාදර් මස්තාන් මහතා යන මැති ඇමතිවරුන් ඇතුළු පිරිසක් සහභාගී විය.


Last Updated on සිකුරාදා, 12 ඔක්තෝබර් 2018 08:58

සමාජීය

කෘෂිකර්ම අමාත්‍යාංශය

288,

ශ්‍රී ජයවර්ධනපුර මාවත ,

රාජගිරිය, ශ්‍රී ලංකාව.

දුරකථන : +94-11-2869553

ෆැක්ස් : +94-11-2868910

ඊ- මේල් : This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

ප්‍රකාශන හිමිකම © 2012 කෘෂිකර්ම අමාත්‍යාංශය

සියලු හිමිකම් ඇවිරිණි

සැලසුම් නිර්මාණය