English (UK)SinhalaSriLankaTamilIndia


ජාතියේ අත්‍යවශ්‍යතාවයක්ව ඇති ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්තිය තුන් මසක් තුළ

Agri Image 003

  • කෘෂිකර්මය පිළිබඳ ප්‍රවීනයන් ඇතුළු 13 කුගෙන් යුත් විද්වත් කමිටුව රැස්වෙයි.
  • ආණ්ඩු මාරුවට වෙනස් නොවන ජාතික ප්‍රතිපත්තියක්
  • ජනතාවගේ සෞඛ්‍යත්, පරිසරයත්, දේශීයත්වයත්, ආර්ථික, සාමාජීය, සංස්කෘතික අනන්‍යතාවයෙනුත් රැකගත් කෘෂිකර්මික ව්‍යවසායක පරපුරක්
  • ගොවියාගේ ආදායම වැඩිකරන ඔවුන් ව්‍යවසායකයන් කරන වැඩපිළිවෙලක්

 

ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්තියක් සකස්කිරීම සඳහා පත්කළ විද්වත් කමිටුව ඊයේ ගන්නෝරුව උද්‍යාන භෝග පර්යේෂණ ආයතනයේ දී පළමුවරට රැස්වුණා. ඒ කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන්. කෘෂිකර්ම ක්ෂේත්‍රයේ විද්වතුන් ඇතුළු ක්ෂේත්‍ර රැසක ප්‍රවීනයන්ගෙන් සැදුම්ලත් කමිටුවට සාමාජිකයන් 13 ක් ඇතුලත්. කෘෂිකර්ම අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ආචාර්ය අජන්ත ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් යුත් කමිටුවට කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ඩබ්.එම්.ඩබ්. වීරකෝන්, ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල් ඩබ්.එම්.එම්.බී. වීරසේකර, සබරගමුව විශ්ව විද්‍යාලයේ මාහාචාර්ය පී.අයි.යාපා, පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය බුද්ධි මාරඹේ, මහාචාර්ය පාලිත වීරක්කොඩි, වයඹ විශ්ව විද්‍යාලයේ උප කුලපති මහාචාර්ය උදිත් කේ. ජයසිංහ, පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය එම්.බී. රත්නතිලක, ආචාර්ය බී.වී.ආර්.  පුන්‍යවර්ධන, ආචාර්ය ඩී.එස්. කුරුප්පු ආරච්චි, ආචාර්ය යසින්තා මාපටුන, රිස්වි සහිඩ් යන විද්වතුන් ඇතුලත් වෙනවා. ගොවි ජනතාව නියෝජනය සඳහා මෙම කමිටුව ජාතික ගොවි සංවිධාන බලමණ්ඩලයේ සභාපති එස්.එම්.ජී. සමරකෝන් මහතා පත්කොට තිබීම ද විශේෂත්වයක්.

                                          

දේශපාලන භේද, වෙනත් බලපෑම් කිසිවක් නොසලකා මාස 03 ක් තුළ ජාතියේ අවශ්‍යතාවයක්ව පවතින ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්තිය සකස් කර දෙන ලෙස කමිටුවෙන් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා මෙහිදී ඉල්ලා සිටියා. මාස 03 ක් වැනි කෙටි කාලයක් තුළ මෙම ජාතික ප්‍රතිපත්තිය සකස් කරදෙන ලෙසද අමාත්‍යවරයා විද්වත් කමිටුවෙන් ඉල්ලා සිටියා. තමා 2010 ක්‍රීඩා අමාත්‍යවරයාව සිටි සමයේ ක්‍රීඩාවට ජාතික ප්‍රතිපත්තියක් හඳුන්වාදුන් බවත්,මෙරට ක්‍රීඩා ක්ෂේත්‍රයේ දැවැන්ත ධනාත්මක වෙනසක් ඒ තුළින් සිදු වූ බවත් පෙන්වාදුන් අමාත්‍යවරයා වසර ගනනක සිට කතාවකට පමණක් වරින් වර සාකච්ඡා වන ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්තිය පොළොවේ යතාර්ථයක් කිරීමට අවශ්‍ය මැදිහත්වීම සිදුකරන ලෙස විද්වත් කමිටුවෙන් ඉල්ලා සිටියා. සෞභාග්‍යයේ දැක්මේ සඳහන් වස විෂ නැති ආහාරවලින් ස්වයංපෝෂිත මෙන්ම ආනයන ආර්ථිකයක් වෙනුවට නිෂ්පාදන ආර්ථිකයක් ගොඩනැඟීමේ වැඩපිළිවෙලට ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්තිය අත්‍යවශ්‍ය බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට ද ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්තියක් කඩිනමින් සකස් කොට ආණ්ඩු මාරුවන විට කෘෂිකර්මයේ ප්‍රතිපත්ති මාරු නොවන සේ පාර්ලිමේන්තුවේ සම්මත කරගත් වෙනස් නොවන ජාතික වැඩපිළිවෙලක් ක්‍රියාවට නැංවීමට දැඩි උනන්දුවක් හා අවශ්‍යතාවයක් ඇතිබව පෙන්වා දුන් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඊට අවශ්‍ය සහාය රජයට ලබාදෙන ලෙස මෙම විද්වත් කමිටුවෙන් ඉල්ලා සිටියා.

 

2003, 2007, 2010 යන වකවානුවලද ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්තියක් සකස් කිරීමේ කටයුතු සිදුවූ බවත් එහෙත් එය යතාර්ථයක් නොවූ බවත් මෙහිදී අදහස් දැක්වූ වයඹ විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය උදිත් කේ. ජයසිංහ මහතා පෙන්වා දුන්නා. කැනඩාවේ, ඊශ්‍රායලයේ හෝ වෙනත් රටක කෘෂිකර්ම ප්‍රතිපත්තියක් අන්තර්ජාලය හරහා බාගතකොට අපේ රටේ නම දමා ඉදිරිපත්කිරීම වෙනුවට, දේශීයත්වය, පරිසරය, සෞඛ්‍ය, අපේ ගොවි ජනතාව, නව තාක්ෂණය, ගොවියා ව්‍යවසායකයෙකු කිරීම ඇතුළු රටට ගැලපෙන ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්තියක් අත්‍යවශ්‍ය බවයි මහාචාර්ය උදිත් කේ. ජයසිංහ මහතා කියා සිටියේ. මෙම් විද්වත් කමිටුව ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්තිය සකස්කිරීමට සීමා නොවී කෘෂිකර්මයේ තීන්දු තීරණ ගැනීම සඳහා මසකට හෝ සුදුසු වකවානුවකට වරක් රැස්වෙමින් කටයුතු කිරීම කාලෝචිත බවත්, ලෝකයේ බොහෝ දියුණු රටවල් එය ක්‍රියාත්මක කරන බවත් මහාචාර්ය උදිත් කේ. ජයසිංහ මහතා පෙන්වා දුන්නා.

 

ගොවිජනතාවගේ නිෂ්පාදනයෙන් විශාල මුදලක් වැයකරන්නේ පොහොර, කෘමි නාශක හා වල් නාශක මෙන්ම බීජ මිලදී ගැනීමට බවත් ඒවා දේශීයව නිෂ්පාදනය කෙරෙහි නව ප්‍රතිපත්තියට අතුලත්විය යුතු බවත් මහාචාර්ය පී.අයි. යාපා මහතා මෙහිදී යොජනා කළා. රටින් පිටවන විශාල මුදලක් රටට ඉතිරිකර ගැනීමටත් ගොවියාගේ අතමිට සරු කිරීමටත්, එවැනි ක්‍රියාමාර්ග රටේ ජාතික අවශ්‍යතාවයක් ලෙස සලකා ඉටුකළ යුතු බවයි ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ. 

 

ගොවිජනතාව වෙනුවෙන් කමිටුව නියෝජනය කරන ජාතික ගොවි සංවිධාන බලමණ්ඩලයේ සභාපති එස්.එම්.ජී. සමරකෝන් මහතා මෙහදී කියා සිටියේ බිම් මට්ටමේ ගොවියාගේ අදහස්, යෝජනා, ගැටළු පාලනාධිකාරියට යොමුවීමේ ගැටළුවක් ඉතිහාසය පුරාම ඇති බවයි. ගොවියාගේ එවැනි අදහස් ගොනුකොට කමිටුවට ඉදිරිපත් කරන ලෙසත්, ඊට අදාල සියළු සහාය ලබාදෙන බවත් අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා මෙහිදී ගොවි සම්මේලනයේ සභාපති සමරකෝන් මහතාට දැනුම් දුන්නා.

 

කෘෂි නිෂ්පාදන ආර්ථිකයක් ගොඩනැගීම කාලෝචිත අවශ්‍යතාවයක් බවයි විද්වත් කමිටුව අමාත්‍යවරයාට පෙන්වා දුන්නේ. නිෂ්පාදකයාගේ සිට පාරිභෝගිකයා දක්වා දම්වැල අවබෝධ කර ගනිමින් කෘෂිකර්මයට ජාතික ප්‍රතිපත්තියක් සකස්විය යුතු බව ද විද්වත් කමිටුවේ අදහස වුණා.

 

කාබනික පොහොර අධිකාරියක් ස්ථාපත කිරීම, බීජ නිෂ්පාදනයෙන් රට සන්නද්ධ කිරීම, බෝග 16 න් රට ස්වයංපෝෂිත කිරීම, කෘෂි තාක්ෂණයෙන් ගොවියා පොහොසත් කිරීම, කෘෂි අපනයන ගම්මාන ඇතුළු ගොවියාට දැනෙන වැඩසටහන් රැසක් දැනටමත් ක්‍රියාත්මක බව අමාත්‍යවරයා මෙහිදී කියා සිටියා. පොදු අරමුණක් වෙනුවෙන් රටේ ජාතික අවශ්‍යතාවයක් ලෙස ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්තිය කඩිනමින් සම්මත කිරීම තම එකම අරමුණ බවත් ඊට අවශ්‍ය රාජ්‍ය මැදිහත්වීම, සහාය ලබාදීමට සූදානම් බවත්, කෘෂිකර්මය සඳහා ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීම සඳහා පත්කළ විද්වත් කමිටුව හමුවේ අමාත්‍යවරයා කියා සිටියා. සියලු ක්ෂේත්‍රයන් ආවරණය වන පරිදි තොරතුරු එක්රැස්කොට, සාකච්ඡාකොට, රටට ඵලදායී හෙටට ගැලපෙන සාර්ථක ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්තියක් සකස්කරදීමට මෙහිදී විද්වත් කමිටුව එකඟත්වය පළකළ අතර කඩිනමින් එය සකස්කර අවසන් කිරීමට සූදානම් බවද ප්‍රකාශ කළා. කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් සුමේධ පෙරේරා මහතා ද මෙම විශේෂ සාකච්ඡාවට එක්ව සිටියා. කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ නිර්දේශය මත අමාත්‍යාංශ ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් සුමේධ පෙරේරා මහතා විසිනුයි 13 දෙනෙකුගෙන් යුත් මෙම විද්වත් කමිටුව පත්කොට ඇත්තේ.  

Agri Image 001  Agri Image 002


Last Updated on අඟහරුවාදා, 22 දෙසැම්බර් 2020 15:54

සමාජීය

කෘෂිකර්ම අමාත්‍යාංශය
 

80/5,

ගොවිජන මන්දිරය,

රජමල්වත්ත පටුමග,

බත්තරමුල්ල, ශ්‍රී ලංකාව.

දුරකථන : +94-11-2034300

 

ඊ- මේල් :  This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

ප්‍රකාශන හිමිකම © 2019  කෘෂිකර්ම අමාත්‍යාංශය

සියලු හිමිකම් ඇවිරිණි

සැලසුම් නිර්මාණය