01

   
English (UK)SinhalaSriLankaTamilIndia


"පොහොර හිඟයක් පවතින බවට ගෙනයන තොරතුරු අසත්‍යයි. මහ කන්නයට අවශ්‍ය පොහොර ගෙන්වා අවසන්." අමාත්‍ය පී. හැරිසන්

2019.10.21i

රටට අවශ්‍ය පොහොර මේ වනවිට ගෙන්වා අවසන් බවත්, කිසිඳු හිඟයක් නොපවතින බවත් කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී. හැරිසන් මහතා හුණුපිටිය රජයේ පොහොර ගබඩාවන් වන ලක් පොහොර හා කොමර්ෂල් පොහොර ගබඩා වෙත ගොස් නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව පැවසීය.

මහ කන්නයේ වී වගාවට අවශ්‍ය පොහොර සමඟම අතුරු බෝග සඳහා ද අවශ්‍ය ප්‍රමාණයට පොහොර ගෙන්වා ඇති බව හෙතෙම කීය.

ඒ අනුව 2019 මහ කන්නය සඳහා යූරියා මෙට්‍රික් ටොන් 148, 162ක් ද, ත්‍රිපල් සුපර් පොස්පේට් මෙට්‍රික් ටොන් 36, 530.54ක් ද, මියුරෙට් ඔෆ් පොටෑෂ් මෙට්‍රික් ටොන් 44, 833.5ක් ද රජයේ සමාගම් මඟින් ආනයනය කර ඇති බව අමාත්‍යවරයා පැවසීය. 2019 මහ කන්නයේ වී සඳහා භූමි ප්‍රමාණය අක්කර 1,968,147.72ක් වගා කරනු ඇතැයි අපේක්ෂා කරන බව කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කරයි. මේ වන විට පෞද්ගලික සමාගම් 13ක් සඳහා පොහොර ගෙන්වීමට හා බෙදාහැරීමට අනුමැතිය ලබා තිබෙන බව අමාත්‍යවරයා පවසයි.

ජනාධිපති අපේක්ෂකයන්ගේ මැතිවරණ පොරොන්දු මත පොහොර නොමිලයේ ලබාදීම පිළිබඳව ද මාධ්‍ය වේදීන් අමාත්‍යවරයාගෙන් මෙහිදී කරුණු විමසීය. එහිදී අමාත්‍යවරයා සිටියේ නොමිලයේ සමෘද්ධි සහනාධාර වැඩසටහන් ක්‍රියාත්මක කරනවා නම් පොහොර ද නොමිලයේ ගොවීන් වෙත ලබා දීමට හැකියාවක් පවතින බවයි. රජයේ සේවකයන්ට වැටුප් වැඩි කිරීමට හැකියාවක් පවතිනවා නම් පොහොර ද නොමිලයේ ලබාදිය යුතු බව අමාත්‍යවරයා කීය.

දැනටමත් පොහොර වෙනුවෙන් රජය වාර්ෂිකව බිලියන 35ක මුදලක් වියදම් කරන බවත්, වී සඳහා ඉන් ගොවියෙකුගෙන් යූරියා කිලෝග්‍රෑම් 50ක මිටියක් සඳහා රුපියල් 500ක මුදලක් ද, අතිරේක බෝග සඳහා රුපියල් 1000ක මුදලක් අය කරන බවත්, මින් රජයට ලැබෙන මුදල රුපියල් බිලියන 3.5ක මුදලක් බවත් එම මුදල රජයට දැරීමේ හැකියාවක් පවතින බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය. 

කෘෂිකර්ම අමාත්‍යවරයා ලෙස වගකීමෙන් කියනවා පොහොර නියමිත කන්නයට, නියමිත වෙලාවට ගොවීන් වෙත ලබා දීමට මම බැඳී සිටිනවා යැයි ප්‍රකාශ කළේය. පොහොර පිළිබඳ ගැටළුවක් පවතී නම් ජාතික පොහොර ලේකම් කාර්යාලයේ 011-2034329 ක්ෂණික දුරකථන අංකය අමතා දැනුවත් කළ හැකි බව අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

මෙම අවස්ථාවට ලක් පොහොර සමාගමේ සභාපති සෝමචන්ද්‍ර ජයකොඩි මහතා, කොමර්ෂල් පොහොර සමාගමේ සභාපති දුමින්ද වීරසිංහ මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් ද සහභාගී විය.

මේ අතර ක්‍රමවත්ව පොහොර බෙදා හැරීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් අද ( 21 ) දින කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී. හැරිසන් මහතාගේ ප්‍රධානත්වයෙන් කෘෂිකර්ම අමාත්‍යාංශයේ පැවැත්විණ.

මෙහිදී පොහොර බෙදා හැරීම පිළිබඳ නිලධාරීන්ගෙන් තොරතුරු විමසූ අතර එහිදී අනාවරණය වූයේ ප්‍රදේශ කිහිපයක පමණක් යම් පොහොර හිඟයක් පවතින බවයි. එහිදී අමාත්‍යතුමා සඳහන් කළේ, මේ දවස්වල වර්ෂාව කලින් ආපු නිසා පොහොර තදබදය ඇති වුණා. වෙනත් බෝග සඳහා යොදන පොහොරවලයි ප්‍රශ්නේ තියෙන්නේ. අපි බලාපොරොත්තු වෙනවා කඩිනම්ව පොහොර බෙදා හැරීමේ කටයුතු සිදු කරන්න. මොනරාගල, හම්බන්තොට, අනුරාධපුර, පොළොන්නරුව වගේ දිස්ත්‍රික්කවල තමයි අතිරේක බෝග සඳහා පොහොර ඉල්ලුම ඇතිවෙලා තියෙන්නේ.  ” මෙහිදී අමාත්‍යවරයා නිලධාරීන් අමතමින් පවසා සිටියේ හිඟයකින් තොරව පොහොර ලබා දීමට කඩිනමින් කටයුතු කළ යුතු බවයි.

2019.10.21ii2019.10.21iii2019.10.21iv  2019.10.21ivi 2019.10.21ix 2019.10.21viii

 


Last Updated on බ්‍රහස්පතින්දා, 24 ඔක්තෝබර් 2019 10:40

සමාජීය

කෘෂිකර්ම,ග්‍රාමීය ආර්ථික කටයුතු, වාරිමාර්ග සහ 

ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය

288,

ශ්‍රී ජයවර්ධනපුර මාවත ,

රාජගිරිය, ශ්‍රී ලංකාව.

දුරකථන : +94-11-2869553

ෆැක්ස් : +94-11-2868910

ඊ- මේල් : This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

ප්‍රකාශන හිමිකම © 2019 කෘෂිකර්ම,ග්‍රාමීය ආර්ථික කටයුතු, වාරිමාර්ග සහ

ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය

සියලු හිමිකම් ඇවිරිණි

සැලසුම් නිර්මාණය