Agriculture div banner

   
English (UK)SinhalaSriLankaTamilIndia


ගරු අමාත්‍ය පී.හැරිසන් මහතා අද (21) දින අභිනව කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යවරයා වශයෙන් කෘෂිකර්ම අමාත්‍යාංශයේදී රාජකාරි කටයුතු ආරම්භ කලේය.

DSC 0960

 

DSC 1008                   DSC 0963

 

                                                          DSC 0970     

 

පසුගිය දින 52ක කාලය තුළ රට අකර්මන්‍ය වී තිබුණා. ඒකට හේතුව රටේ හැමෝම දන්නවා. සමහරු අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට දොස් පැවරුවත් මම කිසිදිනක එතුමාට දොස් පැවරුවේ නැහැ. මොකද පසුගිය කාලය තුළ රජයක් විදිහට අපේ අඩුපාඩු තිබුණා. දේශපාලන පළිගැනීම්වලට ලක්වෙච්ච අපේ පාක්ෂිකයින්ට සලකන්නට අපිට නොහැකි වුණා. හැමදාම පාරවල්වල උද්ඝෝෂණ, පෙළපාලි තිබුණා. එම නිසා මහජනතාවට විශාල අපහසුතාවලට මුහුණ දෙන්නට සිදු වුණා.               

මෙවැනි තත්ත්වයන් වලින් අප්‍රසාදයට පත් වුණේ එක්සත් ජාතික පක්ෂ රජය. හැමෝම කිව්වේ මේක යූ.එන්.පී. ආණ්ඩුවක් කියලා.අපේ පාක්ෂිකයෝ අපිව විවේචනය කළා. එවැනි අවස්ථාවක තමයි අපේ අග්‍රාමාත්‍යතුමාව ඉවත් කරලා මහින්ද රාජපක්ෂ මහත්තයාව අගමැති කළේ. නමුත් එම සිදුවීම මම දකින්නේ එක්සත් ජාතික පක්ෂයට වූ හොඳක් විදිහටයි. ඇත්ත වශයෙන්ම සමහරු ජනාධිපතිතුමාට දොස් කිව්වත් මම කියන්නේ එතුමා නිසා එක්සත් ජාතික පක්ෂය ඉතාමත් ශක්තිමත් වූ බවයි. ජනාධිපතිතුමා ගත් පියවර නිසා එතුමාගේ ඡායාරූපයට මල්, පහන් පිදිය යුතුයි කියලයි මම කියන්නේ, යැයි කෘෂිකර්ම අමාත්‍ය පී. හැරිසන් මහතා ප්‍රකාශ කළේය. 

 අමාත්‍යවරයා මෙම අදහස් පළ කලේ අද (21) දින අභිනව කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යවරයා වශයෙන් කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී රාජකාරී කටයුතු ආරම්භ කරමින් ඒ සඳහා පැමිණි නිලධාරී හමුව අමතමිනි.

 මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා -  රජය විසින් ක්‍රියාත්මක කරන සංවර්ධන වැඩසටහන් අද මාධ්‍ය තුළ ප්‍රචාරය වන්නේ නැහැ. බොහෝ විට සිදුවන්නේ ප්‍රශ්නම උලුප්පා පෙන්වීමයි. එම නිසා රටේ සංවර්ධන වැඩපිළිවෙල පිළිබඳ පුළුල් ප්‍රචාරයක් ලබාදීම මාධ්‍යවල වගකීමක් ලෙස මම දකිනවා.

 මා වෙත ලබාදී ඇති අමාත්‍යාංශය හැමෝම කියන්නේ විශාල අමාත්‍යාංශයක් බවයි. අපේ රටේ ඇමතිවරු ගණනාවක් යටතේ ක්‍රියාත්මක වූ අමාත්‍යාංශය රැසක් මා වෙත ලබාදී තිබෙනවා. මට පැවරුණු වගකීම උපරිමයෙන් ඉටු කිරීමට මම කටයුතු කරනවා වගේම මේ නිලධාරීන් සෑම දෙනෙක්ම මට සහයෝගය ලබාදෙනු ඇතැයි මම විශ්වාස කරනවා. 

 මෙම අවස්ථාවට එක්වූ සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා - ඔක්තෝබර් 26 වැනිදා අපි එක් කළ ජනාධිපතිතුමා එතුමා පත් කළ අමාත්‍ය මණ්ඩලය අහෝසි කළා. අපි 2015 සිට මෙතෙක් ක්‍රියාත්මක කළේ යහ පාලන ප්‍රතිපත්ති. සමහරු අහනවා යහපාලනය නිසා මොකක්ද රටට වුණේ කියලා. අද ස්වාධීන අධිකරණයක් තිබෙනවා. ස්වාධීන රාජ්‍ය සේවාවක් තිබෙනවා. නිදහස් මැතිවරණයක් පවත්වන්න අවශ්‍ය වටපිටාව සැකසී තිබෙනවා. කෙටියෙන්ම කිවහොත් නීතියේ ආධිපත්‍යය අද තහවුරු වෙලා තිබෙනවා. මේ සියල්ල ලබාගැනීමට හැකි වූයේ අපි යහපාලන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළ නිසයි. නමුත් සමහරුන්ට තවමත් මේ යහපාලනය වැටහී නැහැ. ඒ නිසා තමයි සමහර මාධ්‍ය ආයතන තවත් මාධ්‍ය ආයතනවලට ගිනි තැබූ, මාධ්‍යවේදීන් ඝාතනය කළ, මාධ්‍යවේදීන්ගේ අතපය කඩපු මහින්ද රාජපක්ෂලා පසු පස්සේ යන්නේ ඒ අය තවමත් මහින්දලාට ආවඩන්නේ මාධ්‍ය ආයතන ගිනි තැබීම හොඳයි කියලා හිතන නිසයි.

 2015 - ජනවාරි 08න් පස්සේ අපි කිසිම පරාජයක් ලැබුවේ නැහැ. ඒවගේම ඉදිරි මැතිවරණත් 2020 මැතිවරණයත් ජයග්‍රහණය කර ඊට පස්සේ ආණ්ඩුව පිහිටුවන්නෙත් එක්සත් ජාතික පක්ෂය බව මම මේ අවස්ථාවේ සඳහන් කරනවා.

 මෙහිදී අදහස් පළ කළ වජිර අබේවර්ධන මහතා පසුගිය දින 52 ක කාලය තුළ සිදු වූ ක්‍රියාදාමය නිසා ව්‍යවස්ථාව තුළ විශාල උනන්දුවක් ඇති වුණා. 19 වන ආණුඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ පාර්ලිමේන්තුව මෙන්ම සිවිල් සමාජය ශක්තිමත් කර තිබෙනවා. ප්‍රථම වතාවට ජනාධිපතිවරයා, අගමැතිවරයා ඇතුළු ඕනෑම අයෙක් අධිකරණය වෙත ගෙනයාමට අද සිවිල් පුරවැසියන්ට බලය ලැබී තියෙන්නේ. 19 වන සංශෝධනය නිසයි. ඒත් සමහරු තාමත් හිතන්නේ පරණ පුරුද්දටයි. පරණ පුරුද්දට තමන්ට අසීමාන්තික බලයක් තිබෙනවා කියලා හිතාගෙනයි.

 රජයේ නිලධාරීනුත් මෙම තත්ත්වය අවබෝධ කරගත යුතුයි. මහින්ද රාජපක්ෂ මහතා අමාත්‍ය මණ්ඩලය පත්කළාට පස්සේ සමහර අමාත්‍යාංවලට ඇමතිවරයාට කලින් ගියේ මැර කණ්ඩායම්. නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ලිපිගොනු අරගෙන අධිකරණයට යනකොටත් මේ මැරයෝ ඒවා වැළැක්වූවා. ලිපිගොනු හොරෙන් අරන් යනවා කියලා. මැර පිරිස් අමාත්‍යාංශ වලට කඩාවදිනකොට අතිරේක ලේකම්වරුන්ට තිබුණා ඒ සම්බන්ධව පොලිසියට පැමිණිලි කරන්න. නමුත් සමහරු එහෙම කළේ නැහැ. මම දන්නවා ඒක වැරුද්දක් කියලා. 

 මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී අමිර් අලි, පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් විජේවර්ධන, කාන්තා හා වියළි කලාප සංවර්ධන අමාත්‍ය චන්ද්‍රානී බණ්ඩාර, පාර්ලිමේන්තු මන්ත්‍රී සිඩ්නි ජයරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා යන මැති ඇමතිවරු සහ අමාත්‍යාංශයේ නිලධාරීන් රැසක් එක්ව සිටියහ.

 

 


Last Updated on සිකුරාදා, 21 දෙසැම්බර් 2018 09:32

සමාජීය

කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන,

වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය

288,

ශ්‍රී ජයවර්ධනපුර මාවත ,

රාජගිරිය, ශ්‍රී ලංකාව.

දුරකථන : +94-11-2869553

ෆැක්ස් : +94-11-2868910

ඊ- මේල් : This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

ප්‍රකාශන හිමිකම © 2019 කෘෂිකර්ම,ග්‍රාමීය ආර්ථික කටයුතු,පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ

ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය

සියලු හිමිකම් ඇවිරිණි

සැලසුම් නිර්මාණය