English (UK)SinhalaSriLankaTamilIndia


ජයවර්ධනපුර අධ්‍යාපන කලාපයේ පාසල් 89ක පලතුරු උද්‍යාන පිහිටුවීම සඳහා පලතුරු පැළ බෙදා දෙයි

 DSC0065

 DSC0153

කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් පාසල් සහ ආගමික පරිශ්‍ර ආශ්‍රිතව පලතුරු උද්‍යාන පිහිටුවිමේ වැඩපිළිවෙල යටතේ අද (26) දින පෙරවරුවේ තලංගම එම්.ඩී.එච්. ජයවර්ධන විද්‍යාලයේ පලතුරු උද්‍යානය පිහිටුවීමේ වැඩපිළිවෙල කෘසිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයන් අරඹනු ලැබීය.

 

මීට සමගාමීව ජයවර්ධනපුර අධ්‍යාපන කලාපයේ පාසල් 89කට පලතුරු උද්‍යාන පිහිටුවීම සඳහා පැළ ලබාදුන් අතර මෙම වැඩසටහනට සමගාමීව එම පාසල් 89හිම පලතුරු පැළ රෝපණය කිරීමේ වැඩපිළිවෙල අද (26) දින එකම වෙලාවක ක්‍රියාත්මක කරනු ලැබීය.

 

මෙම පාසල්වල ස්ථාපිත කර තිබෙන පරිසර කව මඟින් මෙම පැළ සිටුවීම ක්‍රියාත්මක කරන අතර විශේෂත්වය වන්නේ පාසල් පරිශ්‍ර තුළ රෝපණය කෙරෙන සෑම පැළයක්ම සිසු දරුවෙකු නමින් වෙන් කර තිබීමයි. එම දරුවා විසින් එම පලතුරු පැළ රැකබලා ගැනීමයි.

 

මෙම අවස්ථාවට සහභාගී වූ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා අතින් එම විද්‍යාලයේ ගුරුභවතුන්ට බද්ධ කොස් පැළ පිරිනමනු ලැබීය.අනතුරුව පැවති උත්සවයේදී අදහස් පළ කර අමාත්‍යවරයා-

 

අද දින මෙම විද්‍යාලයේ රෝපණය කරන ලද පලතුරු පැළ අතර විශේෂ පලතුරු වර්ග දෙකක පැළ රෝපණය කළා. එක් වර්ගයක් තමයි කරඹ. මම මේ පාසලේ දරුවෙක්ගෙන් ඇහුවා කරඹ කාලා තියෙනවද කියලා. ඒ දරුවෝ කරඹ දැකලාවත් නැහැ. කරඹ කියන්නේ අපේ ගමේගොඩේ ළඳු කැළෑවල වැවෙන පලතුරක්. කරඹ මලත් අපි කනවා. කරඹ මල හරියට පිච්ච මල වගේ. කනකොට ඇඹුල් රසයි. අනිත් වර්ගය තමයි වැඩි දියුණු කළ නමිනං වර්ගයක්. මේ නමිනං ගසේ ගෙඩියක් කිලෝ එකක් විතර බරයි. ඒ වගේම රසයි.

 

අපේ රටේ වගා කළ හැකි පලතුරු විශාල ප්‍රමාණයක් පිටරටින් ආනයනය කරනවා. සාමාන්‍යයෙන් එක පුද්ගලයෙක් දවසකට පලතුරු ග්‍රෑම් 200ක්වත් කන්න ඕනෑ කියලා තියෙනවා. ඒ වුනාට පිටරටින් ගෙන්වන පලතුරු දෙස බැලුවම ඒවා කනවට වඩා හොඳයි නොකා සිටීම. පිටරටින් ගෙන්වන පලතුරු කල්තබා ගැනීමට යොදන කෘමිනාශක මොනවද කියලා මේ රටේ කිසි කෙනෙක් දන්නේ නෑ. ඒ ගැන පරීක්ෂණ පවත්වලත් නෑ.

 

අපේ රටේ තමයි සමහර දේවල් වැඩිපුරම කන්නේ. වැඩිපුරම බත් කන්නේ අපේ රටේ. අපි හොඳට බත් කන නෙවෙයි බත් බුදින ජාතියක්. ඒ වගේම තමයි, වැඩිපුරම මිරිස් කන්නේත් අපේ රටේ. ඒ වුණාට දැන් අපේ රටේ භාවිත කරන මිරිස්වලින් වැඩි ප්‍රමාණයක් ඉන්දියාවෙන් හරි පකිස්ථානයෙන් හරි ගෙන්නපු මිරිස්. පසුගිය අවුරුද්දේ විතරක් රුපියල් කෝටි 1800ක මිරිස් ඉන්දියාවෙන් මෙරටට ගෙන්වලා තියෙනවා. දැන් අපි ඉලක්ක කර ගෙන තියෙන්නේ පිටරටින් ගෙන්වන එක නවත්තලා අපේ රටේම වගා කරන්නයි.

 

පලතුරු උද්‍යාන පාසල් සහ ආගමික පරිශ්‍රවල පිහිටුවීමේ වැඩපිළිවල අද ආරම්භ වුණා. මගේ බලාපොරොත්තුව හැම පාසලකටම පලතුරු උයනක් ලබා දීමයි. මේ වැඩසටහන්වලට සෑම දෙනාගේම සහයෝගය අවශ්‍ය බව ද ඇමතිවරයා සඳහන් කළේය.

 

මෙම අවස්ථාවට තලංගම එම්.ඩී.එච්. ජයවර්ධන විද්‍යාලයේ විදුහල්පතිනිය, ජයවර්ධනපුර කලාප අධ්‍යාපන කාර්යාලයේ නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී විය.


Last Updated on අඟහරුවාදා, 30 ඔක්තෝබර් 2018 10:09

සමාජීය

කෘෂිකර්ම අමාත්‍යාංශය

288,

ශ්‍රී ජයවර්ධනපුර මාවත ,

රාජගිරිය, ශ්‍රී ලංකාව.

දුරකථන : +94-11-2869553

ෆැක්ස් : +94-11-2868910

ඊ- මේල් : This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

ප්‍රකාශන හිමිකම © 2012 කෘෂිකර්ම අමාත්‍යාංශය

සියලු හිමිකම් ඇවිරිණි

සැලසුම් නිර්මාණය